මැතිවරණය; සුළු දේශපාලන පක්ෂ ප්‍රතිචාරය

Image caption හිටපු මන්ත්‍රී නුර කුමාර දිසානායක

අගෝස්තු මාසයේ පැවැත්වෙන මීළඟ මහ මැතිවරණයේ දී තමන් තනි පක්ෂයක් හැටියට තරඟ කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එම අදහස් පළ කළේ බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී.

නිදහසින් අනතුරුව වසර 67ක කාලයක් මැතිවරණ පිළිබඳව අත්දැකීම් සහිත ශ්‍රී ලංකාවේ ජනතාවට බුද්ධිමත් තීන්දුවක් ගැනීමට මෙවර අවස්ථාවක් උදා වී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

පසුගිය ජනාධිපති වරණයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කරවීමේ බලවේගයට සහයෝගය දුන් ආකාරයට මෙම මැතිවරණයේදීත් ක්‍රියා කරනු ලබන්නේදැයි බීබීසිය විමසීමක් කළ විට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කියා සිටියේ එදා ක්‍රියාමාර්ගය රාජපක්ෂ පාලනය පෙරලා දැමීමේ සටනට දායක වීමක් වූ බවයි.

හිටපු ජනාධිපතිවරයා මෙවර මහ මැතිවරණයට අලුත් සන්ධානයක් යටතේ තරඟ වදින ලකුණු ඇති නමුත් ඔහුට යලි බලයට පත් වීමට ඉඩක් නොමැති බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගේ අදහස වුණේ.

දමිළ සුළු දේශපාලන පක්ෂ

Image copyright mano ganesan
Image caption දමිළ ප්‍රගතිශීලී සන්ධානය

දමිළ සුළු ජාතික දේශපාලන පක්ෂ ඉදිරි මහ මැතිවරණයේ දී අනුගමනය කරන පිළිවෙත සම්බන්ධයෙන් ප්‍රජාතන්තරවාදී ජනතා පෙරමුණු නායක මනෝ ගනේෂන්ගෙන් බීබීසිය විමසීමක් කළ විට ඔහු කියා සිටියේ උතුරු නැගෙනහිර දමිළ ජනතාව නියෝජනය කරමින් මහා පක්ෂ සමඟ සන්ධානයක් ගොඩ නගා ගැනීමට තීරණය කර ඇති බවයි.

මේ වනවිටත් තමන් එක්සත් ජාතික පක්ෂයත් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් මනෝ ගනේෂන් හෙළිදරව් කළේය.

‘ඒ වගේම අපට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ශවයෙනුත් ආරාධනා ලැබිල තියෙනව. ඒ ගැන අවධානය යොමු කර ඒ පක්ෂ සමඟත් සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා’ මනෝ ගනේෂන් පවසයි.

එහෙත් ආරුමුගම් තොන්ඩමන් නායකත්වය දෙන ලංකා වතු කම්කරු කොන්ග්‍රසය (CWC) සමඟ තමන්ට කිසිදු එකඟතාවක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

'දමිළ ප්‍රගතිශීලී සන්ධානය' නමින් පසුගියදා කුඩා දමිළ දේශපාලන පක්ෂ කීපයක් සමඟ මේ වන විටද හවුලක් ගොඩ නගා ගෙන සිටින මනෝ ගනේෂන් වැඩි දුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නියෝජනය කරන සංවිධානයක් වේනම් ඒ සමඟ තමන්ට කිසිදු හවුලක් නොමැති බවයි.