‘බෙදුනොත් පරාදයි’ - ජෝන් සෙනෙවිරත්න

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර මේ වන විට සුහදතාවයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනෙවිරත්න පවසයි.

හිටපු ඇමතිවරයා එම ප්‍රකාශය කළේ බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී.

අගමැති අපේක්ෂකත්වය මුල් කර ගනිමින් දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල උද්ගතව පවතින මත ගැටුම නිරාකරණය කර ගැනීමේ පියවරක් වශයෙන් පත් කරනු ලැබ ඇති අභ්‍යන්තර කමිටුවේ සභාපතිවරයා හැටියට ජෝන් සෙනෙවිරත්න හිටපු ඇමතිවරයා කටයුතු කරයි.

‘නායකයන් දෙදෙනා අතර බොහෝ දුරට දැන් සුහදතාවයක් ඇති වෙලා තියෙනවා. දෙදෙනා අතර අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති බව පැහැදිලියි. ඒ අවබෝධයත් සුහදතාවයත් මුල් කර ගෙන ඔවුන් දෙදෙනාට එකඟතාවයකට එන්න පුළුවන් කියන විශ්වාසය අප තුළ පවතිනවා’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජෝන් සෙනෙවිරත්න කියා සිටියි.

නායක සුහදතාවය

Image copyright bbc
Image caption ජනාධිපතිවරයා ශ්‍රීලනිප නායකයන් සමඟ

පක්ෂය ආරක්ෂා කිරීමේ වැදගත්කම තම කමිටුව මගින් නායකයන් දෙදෙනාට පෙන්වා දුන් බවත් ඔහු සඳහන් කළේය.

‘පක්ෂය බෙදුනොත් පක්ෂය පරාජය වෙන බවත් පක්ෂය පැරදුනොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉතාම අහිතකර තත්වයක් අත් වෙන බවත්’ හිටපු ඇමති ජෝන් සෙනෙවිරත්න පෙන්වා දෙයි.

එවැනි තත්වයක් පවතින බව නායකයන් දෙදෙනාට පෙන්වා දෙමින් එකඟතාවයකට පැමිණෙන මෙන් තමන් ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

දෙදෙනාම බැලූ බැල්මට ඒ කරුණ අතින් එකඟ වූ බවත් ජෝන් සෙනෙවිරත්න හිටපු ඇමතිවරයා පවසයි.