'හිටපු ජනපතිගේ රැළ සමඟ එකතු වෙන්න බැහැ'

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඔහුගේ පැරණි සගයන් සමග නම් එම සන්ධානයත් සමග සන්ධාන ගත වීමට තමන්ට නොහැකි බව පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ අතුරළියේ රතන හිමියෝ පවසති.

අද (30) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී බීබීසීය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි රතන හිමියන් මෙම අදහස් පල කළේ.

"අපි කල්පනා කරන්නේ වංචාව දූෂණය වළක්වන්නේ කොහොමද කියලා, එතනදී වැදගත් වෙන්නේ රාජපපක්ෂ මහත්මයා නැවත ඡන්දෙ ඉල්ලනවද කියන එක නෙවෙයි, ඔහු ඡන්දේ ඉල්ලන්නේ පරණ තක්කඩිත් එක්කම නම් අපට ඔවුන් සමග කිසිම සන්ධාන ගත වීමක් කරන්න බැහැ" උන් වහන්සේ පැවසුහ.

ගන්ධබ්බ අවස්ථාව

රටේ අගමැතිවරයා කවුරුන් වුවත් තමන්ට ප්‍රශ්නයක් නොමැති බව පැවසූ අතුරලියේ රතන හිමියන් රටෙත් ආණ්ඩුවේත් නායකයා වන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මේ අවස්ථාවේ ගන්නා දේශපාලන තීරණය ගැන අවධානයෙන් බලා සිටින බවයි පැවසුවේ

"අපි එකකවත් දැන් එල්ලිල නැහැ, මාධ්‍යත් අහනවා පුද්ගලිකව මගෙන් අපි මොනවාද කරන්නේ කියලා, දැන් අපි ඉන්නේ ගන්ධබ්බ අවස්ථාවක. කොතනද කියල කියන්න බැහැ. බලවේග හැසිරෙන ආකාරයට තමයි අපි ඒ තීරණය ගන්නේ" රතන හිමියෝ ප්‍රකාශ කළහ.