ශ්‍රීලනිප අගමැති අපේක්ෂකත්වය චමල් රාජපක්ෂටද?

Image copyright Getty

හිටපු කථානායක චමල් රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකත්වය ලබා දීම පිළිබඳ පක්ෂයේ සාකච්ඡාවක් ආරම්භ වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

අමාත්‍ය සරත් අමුණුගම අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවේ දී පැවසුවේ පක්ෂයේ සිටින පාර්ශව දෙකටම එකඟ විය හැකි පුද්ගලයෙක් ලෙස හිටපු කතානායක චමල් රාජපක්ෂගේ නම අගමැති අපේක්ෂකත්වය සඳහා යෝජනා වී ඇති බවයි.

"මේක දැන් සාකච්ඡා මට්ටමේ තියෙන්නේ, හුඟ දෙනෙක් යෝජනා කළා, ඒ ගොල්ලන්ට චමල් රාජපක්ෂ මැතිතුමා වගේ පුද්ගලයෙක් වටා එක් වෙලා සටන ගෙනියන්න පුළුවන් නම් එක්සත් ජාතික පක්ෂය පරාජය කරන්න පුළුවන් කියලා" යනුවෙන් සරත් අමුණුගම අමාත්‍යවරයා සිය අදහස් පළ කළේය.

'අවසන් තීරණයක් නැහැ'

අගමැති අපේක්ෂකත්වය පිළිබඳව පක්ෂයේ විවිධ මත ඇති බව පැවසූ අමාත්‍ය සරත් අමුණුගම තමන් ඇතුළු කමිටුවක් එවන් විවිධ මත මධ්‍යස්ථ තැනකට ගෙන ඒමට උත්සාහ කරමින් සිටින බවයි පැවසුවේ.

" හැම කොටසකටම පිළිගන්න පුළුවන් යෝජනාවක් ගෙන්න අපි උත්සාහ කරනවා, එක යෝජනාවක් තමයි දෙපාර්ශවයට ම පිළිගන්න පුළුවන් චමල් රාජපක්ෂ වගේ කෙනෙක් ගේන එක, නමුත් ඒක ගැන තවමත් අවසන් තීරණයක් ගෙන නැහැ"

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු කථානායකවරයා අතර 30 වැනිදා රාත්‍රියේ සාකච්ඡාවක් සිදු වූ බවට "ලක්බිම" පුවත්පත ඊයේ තම මුල් පුවත ලෙස වාර්තා කර තිබුණි.

නමුත් ඉන් පෙර මාධ්‍ය වාර්තා පල වී තිබුණේ හිටපු කථානායකවරයා දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බවටයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත දේශපාලනයට පැමිණීම නිවේදනය කළ මැද මුලන උත්සවයට ද හිටපු කතානායක චමල් රාජපක්ෂ සහභාගි වී සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර