ශ්‍රී ලාංකික ජාතියක් පතන කුමාර් සංගක්කාර

Image copyright AFP

එක්සත් ශ්‍රී ලංකා ජාතියක් ගොඩ නැගීම කාලීන උවමනාවක් යයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

ආගම කුමක් වුනත් සිංහල, දමිළ හෝ මුස්ලිම් වශයෙන් භේදභින්න නොවී සමස්ත සමාජය එකමුතු ශ්‍රී ලංකා ජාතියක් හැටියට පෙනී සිටීම රටේ දියුණුවට අනිවාර්ය අවශ්‍යතාවයක් වන බවයි ඔහු කියා සිටින්නේ.

කුමාර් සංගක්කාර එම අදහස් පළ කළේ ලන්ඩනයේ , ‘ඕවල්’ ක්‍රීඩාංගණයේ දී බීබීසී සංදේශය සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී.

මිනිසුන් හැටියට,සමාජයක් හැටියට, රටක් හැටියට පෙරට යාමට නම් පුරවැසියන්ට සම අවස්ථා සම හිමිකම් සහතික කළ යුතු බවයි කුමාර් සංගක්කාර පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් රටක් හැටියට ජනතාව විවෘත මනසකින් ක්‍රියා කළ යුතු බවයි ඔහු පවසන්නේ.

සමු ගැනීමේ තීන්දුව

බීබීසිය සමඟ පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවේ දී ඉතා ප්‍රවේශමෙන් කරුණු දැක වූ කුමාර් සන්ගකාර ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම සමාජයීය කරුණු සම්බන්ධයෙන් ද සිය අවධානයයෝමු කළේය.

Image copyright AFP
Image caption පිටියේ දිගුකල් සගයා සමඟ

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමේ තීන්දුව ගැන බීබීසිය විමසූ විට ඔහු සඳහන් කළේ, පළමුව එක් දින ජාත්‍යන්තර තරඟ වලින් සමුගත් තමා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ද සමු ගැනීම හදිසි තීන්දුවක් නොව වසර දෙකක පමණ කාලයක් සිතා ගනු ලැබුණ තීන්දුවක් වූ බවයි.

ලකුණු අතර සිටියදී ක්‍රීඩාවෙන් සමු ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ කුමාර් සංගක්කාර කියා සිටියේ පෞද්ගලික වශයෙන් තබන වාර්තා සහ ස්වීය උන්නතිය ගැන පමණක් සිතා ක්‍රීඩාවේ රැඳී සිටීම ආත්මාර්ථකාමී ක්‍රියාවක් වන බවයි.

‘මෙතැන තියෙන්නේ හැකියාව පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. තව අවුරුදු දෙකක් ක්‍රීඩා කිරීමත් නොවෙයි. ළකුණු අතර හිටියත් නැතත් සමු ගැනීමේ වෙලාවක් එනවා. ඒ වෙලාවට සමු ගත යුතුයි’ සංගක්කාර පවසයි.

කෙසේවුවද, සමු ගැනීම සතුටක් මෙන්ම දුක්බර සංවේදී මොහොතක් ද වූ බව ඔහු පවසයි.

Image copyright AFP
Image caption පන්දුව සමඟ පොරය

සමස්ත ක්‍රිකට් ලෝකයේ පරමාදර්ශී දැවැන්තයා වන ඩොන් බ්‍රැඩ්මන් ගේ ද්විත්ව ශතක දොළහේ වාර්තාවට එකක් අඩුවෙන් ලබා තිබියදී තවත් එක ද්විත්ව ශතකයක් වත් ගැන නොසිතා සමු ගැනීම පිළිබඳව විමසූ විට කුමාර් සංගක්කාර කියා සිටියේ ඩොන් බ්‍රැඩ්මන්ගේ වාර්තාව සම කිරීමක් ගැන හෝ එය අභිභවා යාමක් ගැන සිතා ක්‍රීඩාවේ රැඳී සිටියේ නම් එය ආත්මාර්ථකාමී පියවරක් වන බවයි.

නිසි කලට සමු ගැනීම නිසා නවක ක්‍රීඩකයන්ට දොරටු විවෘත වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක් වූ නව ක්‍රීඩකයන් දැනටමත් හොඳින් ක්‍රීඩා කරන බවත් ඔහු පෙන්වා දෙයි.

MCC දේශනය

‘යම් කෙනෙක් වාර්තා ගැනම සිතා දිගටම ක්‍රිකට් වැනි ක්‍රීඩාවක එල්බ සිටියොත් නවකයන්ට පිටියට පැමිණ අලුතින් වාර්තා තබන්නට ඇති ඉඩකඩ ඇහිරී යනවා නොවේදැයි’ ඔහු පෙරළා ප්‍රශ්න කළේය.

Image copyright AFP
Image caption පිරිවර ක්‍රීඩා සගයන්

ක්‍රීඩා පිටියේ පමණක් නොව ඕනෑම ක්ෂේත්‍රයක පරණ දැවැන්තයන් සමු ගැනීමෙන් අලුත් දැවැන්තයන් පරපුරකට මග සැලසෙන බව කුමාර් සංගක්කාරගේ විශ්වාසයයි.

කුමාර් සංගක්කාර , 2011 වසරේ දී MCC ක්‍රිකට් සමාජයේ ආරාධනයෙන් ‘ලෝඩ්ස්’ හි පැවැත්වූ ඓතිහාසික දේශනයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද මතභේදයට තුඩු දුන් කරුණු මුදුන් පත් කර ගැනීමට ඔහුගේ දායකත්වය පිළිබඳව බීබීසී සංදේශය විමසූ විට ඔහු කියා සිටියේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ සිදු වන අපචාර මැඩලීමට සිය දායකත්වය ලබා දීමට තමා සූදානමින් සිටින බවයි.

මුදල් නිසා ඇතැමුන් වැරදි කරන නමුත් පාලක මණ්ඩලය වගකීමෙන් සහ විනිවිද පෙනෙන සුළු භාවයෙන් ක්‍රියා කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඒ සඳහා සහයෝගය දීමේ දී පාලක මණ්ඩලයේ හෝ වෙනත් ආකාරයක තනතුරක් අවශ්‍ය නොකරන බවත් ඔහු කියා සිටියි.

දේශපාලනය

අනාගතයේ දේශපාලනයට අවතීර්ණ වීම සම්බන්ධයෙන් පළ වෙමින් පවතින අදහස් පිළිබඳව විමසූ විට කුමාර් සංගක්කාර කියා සිටියේ දේශපාලනයට පිවිසීමේ අදහසක් නොමැති බවයි.

දේශපාලනයට අවතීර්ණ වීමෙන් තොරව සමාජයට මෙහෙයක් සිදු කළ හැකි වෙනත් ක්‍රමෝපායන් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.