කිලිනොච්චියේ ග්‍රාම නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට

Image copyright AFP

යුද හමුදාව කිලිනොච්චියේ ග්‍රාම නිලාධාරීන් කණ්ඩායමක් අත් අඩංගුවට ගෙන පුනරුත්තාපනයට යොමු කර තිබේ.

කිළිනොච්චියේ වසර හයකට වඩා වැඩි කාලයක් සේවය කළ ග්‍රාම නිලධාරීන් එකොළොස් දෙනෙකක් යුද හමුදාව විසින් අත් අඩංගුවට ගෙන වවුනියාව පූංතෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී දැනට පුනරුත්ථාපනය කෙරෙමින් සිටිති.

කෙටි නිවාඩුවක් සඳහා ඔවුන් මේ දිනවල සිය නිවෙස් වෙත පැමිණ සිටියද දැඩි බියක් දක්වන බැවින් ඔවුහු මාධ්‍ය වෙත අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කොට සිටියහ.

දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්ගෙන් මේ පිළිබදව විමසූ විට ඔහු කියා සිටියේ වසර ගණනාවක් ග්‍රාම නිලධාරීවරුන් ලෙස සේවය කළ මේ පිරිස එල්.ටී.ටී,ඊ. යට සම්බන්ධ බව කියමින් අත් අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කෙරෙන බවයි.

ග්‍රාම නිලධාරී තනතුරු

නමුත් ඔවුන් අවසන් යුද සමයේදී සෙට්ටිකුලම මැණික්පාම් අනාථ කඳවුරේ කල් ගෙවූ පිරිසක් බව කී මන්ත්‍රීවරයා ඔවුන්ගේ ඥාතීන් එල්.ටී.ටී.ඊ.යට සම්බන්ධ හෙයින් මේ පිරිස අත් අඩංගුවට ගෙන ඇති බවයි.

මේ තත්ත්වය බරපතළ අසාධාරණයක් ලෙස පෙන්වා දෙන මන්ත්‍රීවරයා මේ වන විට එම පිරිසගේ ග්‍රාම නිලධාරී තනතුරු අහිමි වීමේ තර්ජනයක් එල්ල වී ඇති බවද කියා සිටියේය.

මේ සිද්ධිය පිළිබදව තොරතුරු විමසීමට පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් වරයා ඇමතීමට උත්සාහ ගත්තත් ඔහුගේ දුරකතනය දවස පුරාම අක්‍රිය කොට තිබීම හේතුවෙන් එය අසාර්ථක විය.