පැරණි කොටි සාමාජිකයන්ට TNA දොර වැසෙයි

දෙමළ කොටි සංවිධානයේ (LTTE) හිටපු සාමාජිකයින් පිරිසක් දෙමළ ජාතික සන්ධානයේ නාම යෝජනා ලැයිස්තු හරහා උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කළ යුතු බවට ගෙන එන ලද යෝජනාවක් දෙමළ ජාතික සන්ධානයේ(TNA) නායක ආර්.සම්බන්ධන් විසින් ප්‍රතික්ෂේප කරණු ලැබුණි.

වවුනියාවේ පෞද්ගලික හෝටලයක දෙමළ ජාතික සන්ධානයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන අවස්ථාවේ හිටපු එල්.ටී.ටී.ඊ.සාමජිකයින් පස්දෙනකු සමග එහි පැමිණි යාපනයේ ‘උදයන්’ පුවත්පතේ හිටපු ප්‍රධාන කතුවරයකු වන නඩේෂපිල්ලේ විද්‍යාදරන් විසිනුයි එම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ.

එම යෝජනාව ප්‍රතික්ෂේප කල TNA නායක ආර්.සම්බන්ධන් ඊට හේතුව වශයෙන් ඉදිරිපත් කළේ, දෙමළ ජාතික සන්ධානය ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් යටතේ කටයුතු කරණ අවස්ථාවක හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් පිරිසක් මහ මැතිවරණයකට ඉදිරිපත් කිරීමේ දී අනවශ්‍ය ප්‍රශ්න මෙන්ම ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න උද්ගත විය හැකි බවයි.

Image caption TNA නායක ආර්.සම්බන්ධන්

හොඳම විකල්පය එම සාමාජිකයින් පළමුව ප්‍රාදේශීය මට්ටමේ මැතිවරණයකට ඉදිරිපත් කොට ඉන් අනතුරුව ඉදිරි කාලයෙහි මහ මැතිවරණවලට ඉදිරිපත් කිරීම බවයි ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

කරුණා අම්මාන් සහ කේ.පී

එම තර්කය පිළි නොගත් නඩේෂපිල්ලේ විද්‍යාදරන් කියා සිටියේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පැරණි සාමාජිකයන් වන කරුණා අම්මාන්, කේ.පී. සහ පිල්ලෙයාන් වැනි අයට දේශපාලන කටයුතුවල නිරත වීමට අයිතියක් ඇත්නම් මේ පිරිසට ද ඊට සමාන අයිතියක් ඇති බවයි.

TNA නායකයා එම තර්ක පිළිගැනීමට අකැමැති වූ අතර එම අවස්ථාවේ දෙපාර්ශ්වය අතර දැඩි වචන හුවමාරුවක් සිදු වූ බැවින් සංවිධායකයින්ට මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට සිදු වුණි.

බලාපොරොත්තු සුන් වූ හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයන් පිරිස හා විද්‍යාධරන් පසුව මාධ්‍යවේදීන්ට කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ නායකයින් විසින් ගන්නා ලද තීරණය දැඩි අසාධාරණ එකක් වන බවයි.

දෙමළ ජාතික සන්ධානයට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් විශාල රුකුලක් ලැබුණු බවයි විද්‍යාධරන් මෙන්ම හිටපු එල්.ටී.ටී.ඊ. සාමජිකයෙකු වූ සුදාකරන් කියා සිටියේ.

කෙසේ නමුත් තමන් දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ගේ තීරණයෙන් දුර්මුඛ නොවන අතර මැතිවරණයට තරඟ කිරීමේ උත්සාහය අත් නොහරින බවයි ඔවුන් මාධ්‍යවේදීන් සමග කියා සිටියේ.

උතුරු නැගෙනහිර පළාත් වලින් විස්සකට නොඅඩු ආසන සංඛ්‍යාවක් දිනා ගනිමින් සිය බලය තහවුරු කර ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කිරීමට දෙමළ ජාතික සන්ධානය ඉහත කී සාකච්ඡාවේදී තීන්දු කළ බවයි එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා මේ අතර බීබීසියට ප්‍රකාශ කළේ.