මහින්ද තරඟ කරන දිස්ත්‍රික්කය: 'තවම තීරණයක් නෑ'

Image copyright Rahul Samantha Hettiarachchi
Image caption හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයට තරඟ කරන දිස්ත්‍රික්කය ගැන 'තවම තීරණයක් නෑ'

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහ මැතිවරණයට තරඟ කරන දිස්ත්‍රික්කය පිළිබඳව මෙතෙක් තීරණයකට එළඹී නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා කමිටුව පවසයි.

හිටපු ජනපතිවරයා තරඟ කරන දිස්ත්‍රික්කය බදාදා වනවිට තීරණය කිරීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවද කමිටුවේ සාමාජික ධීවර අමාත්‍ය මහින්ද අමරවීර බීබීසී සංදේශයට පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදෙන බව සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් පසුගිය සිකුරාදා නිවේදනය කළේය.

එයට විරෝධය පළකරමින්, එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීම පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින බව අර්ජුන රණතුංග අමාත්‍යවරයා පසුගිය ඉරිදා සංදේශයට පැවසීය.

අර්ජුන එජාපයට?

නන්දිමිත්‍ර ඒකනායක සහ එම්කේඩීඑස් ගුණවර්ධන අමාත්‍යවරුන්ද ඒ පිළිබඳව සලකා බලමින් සිටින බවයි, සඳුදා ඩේලි මිරර් පත්‍රය වාර්තා කර තිබුණේ.

Image copyright AFP
Image caption "මේ වනතෙක් එහෙම දැනුම් දීමක් කරලා නැහැ. මම හිතන්නේ නැහැ එහෙම එක්සත් ජාතික පක්ෂයට එකතුවීමක් සිද්ද වේවියී කියල"

එහෙත් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කිරීමේ සැලසුමක් පිළිබඳව එම අමාත්‍යවරුන් තමන්ට දැනුම් දී නොමැති බවයි නාමයෝජනා කමිටුවේ සාමාජික මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසන්නේ.

"මේ වනතෙක් එහෙම දැනුම් දීමක් කරලා නැහැ. මම හිතන්නේ නැහැ එහෙම එක්සත් ජාතික පක්ෂයට එකතුවීමක් සිද්ද වේවියී කියල," අමාත්‍ය අමරවීර සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී.

"ඒ අය අපිත් එක්ක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කරයි."

'සම්මුඛ පරීක්ෂණ අවසන්'

නාමයෝජනා සම්බන්ධයෙන් දැනට ඉදිරිපත් වී තිබෙන යෝජනා අඟහරුවාදා සවස් යාමයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

සන්ධානයේ නාම යෝජනා ලබාදීම පිළිබඳව දිනපතාම පාහේ රැස්වීම් පැවැත්වූ අතර සම්මුඛ පරීක්ෂණ දැන් අවසන් වී තිබෙන බව පවසන අමාත්‍යවරයා, මේ වනවිට නාමයෝජනා ලැයිස්තු සකස් කිරීම සිදුවෙමින් පවතින බවත් සඳහන් කළේය.

හිටපු මන්ත්‍රීවරුන් පිරිසකට නාමයෝජනා ලබානොදෙන බවට තවත් තීන්දුවක් ගෙන නැති බව සඳහන් කළ ඔහු, බදාදා වනවිට අපේක්ෂකයන් පිළිබඳ අවසාන තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් සංදේශයට පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබාදීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර