ශ්‍රී ලාංකිකයන් ඉන්දුනීසියාවේ 'අතරමං වෙලා'

Image copyright AFP GETTY IMAGES
Image caption ශ්‍රී ලාංකික දේශපාලන රැකවරණ පතන්නන් රැගත් යාත්‍රාවක් ඉන්දුනීසියාව අසල මුහුදේ

ශ්‍රී ලාංකිකයන් 54 දෙනකු ඉන්දුනීසියාවේ රෝට් දිවයිනේ අතරමං වී ඉන්දුනීසියානු බලධාරීන් භාරයේ සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මහේශිනී කොලොන්න ඒ බව කියා සිටියේ කොළඹ දී මාධ්‍යවේදීන් අමතමින්.

ඔවුන්ගෙන් බහුතරය අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ අනාථයන් ලෙසින් ලියාපදිංචි වී හැඳුනුම්පත් ලබාගෙන සිටින්නන් බවද ඇය සඳහන් කළාය.

"මොවුන් කිසි කෙනෙක් මේ වනවිට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත ප්‍රකාශ කරලා නැහැ," ප්‍රකාශිකාව කියා සිටියාය.

ජීඑස්පී තීරු බදු සහනය

යළි ශ්‍රී ලංකාවට පැමිණීමට ඒ අතරින් කිසිවකු කැමැත්ත පළ කළ හොත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සූදානම් බවද මහේශිනී කොලොන්න වැඩිදුරටත් සඳහන් කළාය.

මේ අතර 2013 ජුලි මාසය අවසානයේ නිමාවට පත් වූ ජීඑස්පී තීරු බදු සහනය නැවත ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය සූදානම් බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික වර්ධනයට ආධාර කිරීමේ අරමුණින් දියත් කෙරුණු ජීඑස්පී තීරු බදු සහනය රටවල් සහ කලාප 122 කට ලබා දෙන අතර, භාණ්ඩ වර්ග 5000 ක් තීරු බදු රහිතව අපනයනය කිරීමට ඒ මගින් අවස්ථාව සැලසේ.

අදාළ භාණ්ඩ වෙනුවෙන් 2013 ජුලි මාසයේ සිට මේ දක්වා ගෙවන ලද තීරු බදු නැවත ලබාදීමටද එකසත් ජනපදය කටයුතු සලසා ඇති බවත් ප්‍රකාශිකාව සඳහන් කළාය.