මම පක්‍ෂය තුළත් නිරන්තර අරගලයක -රෝසි

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තම පක්‍ෂය තුළින් පවා කාන්තා නියෝජනයට නිසි ඉඩ කඩ ලබා දී නැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු රාජ්‍ය ඇමතිනි රෝසි සේනානායක පවසන්නීය.

සෑම දේශපාලන පක්‍ෂයකින් ම නාම යෝජනා ලබා දීමේදී අඩු තරමින් සියයට තිහකවත් කාන්තා නියෝජනයක් අනිවාර්‍ය කිරීම සඳහා නීති සම්පාදනය විය යුතු බව ඇය පැවසුවාය.

කාන්තා නියෝජනය වැඩි කර ගැනීම සඳහා එදා සිට තම පක්ෂය තුළ පවා නිරන්තර අරගලයක යෙදී සිටින බවත් එය අත් නොහරින බවත් ඇය අවධාරණය කළාය.

ඇය මේ බව කියා සිටියේ ලංකාවේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවට නැගෙන හඬ පිළිබඳව බීබීසීය කළ විමසීමකදී යි. සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටය මෙහි අමුණා ඇත.

මුදල් කන්දරාවක්

අධික මුදල් කන්දරාවක් වැය කිරීමට සිදු වන හෙයින් පවතින මැතිවරණ ක්‍රමයද කාන්තාවට හිතකර නොවන බවයි හිටපු රාජ්‍ය ඇමතිනි රෝසි සේනානායක පවසන්නේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන කාර්ය භාරය ඉටු කරන්නේ කාන්තාව බව බොහෝ දේශපාලනඥයන්ට අමතක වී ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

පළමු ඩොලරය

‘අදටත් ලංකාවට පළවෙනි ඩොලරය එන්නේ මැදපෙරදිග කාන්තාවන්ගෙන්, දෙවැනි ඩොලරය එන්නේ ඇඟලුම් ක්‍ෂේත්‍රයෙන්, තුන්වැනි ඩොලරය තේ දළු වලින්. වැඩි පුරාම පීඩාවට පත් වන්නේත් කාන්තාවමයි.’ රෝසි සේනානායක හිටපු ඇමතිවරිය ප්‍රකාශ කළාය.

දේශපාලනයට කාන්තාව එක් කර ගැනීමට පවතින ප්‍රධාන බාධකය වී ඇත්තේ රටේ පවතින ආකල්පමය ප්‍රශ්නය බවත් දැඩි බාධක මැද්දේ හෝ එසේ කිරීමට නිර්භීත වන කාන්තාවන් ගේ චරිත ඝාතනය කිරීමට සමාජයේ ඇතැමුන් සාහසික වන බවත් ඇය පවසන්නීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර