අලුත්ගම පෙත්සම් විභාගයට අධිකරණයෙන් අවසර

පසුගිය වසරේ අලුත්ගම සහ බේරුවල සිදු වූ කැරලි කෝලාහල වැළැක්වීමට පොලිසිය කටයුතු නොකිරීම නිසා ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වීමක් සිදු වී ඇද්ද යන්න සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

එම ගැටුම්වල දී පීඩාවට පත් මුස්ලිම් ජාතිකයින් පිරිසක් ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේ.

පෙත්සම් කරුවන් කියා සිටින්නේ, පොලිසිය අදාළ ගැටුම වැළැක්වීමට එම අවස්ථාවේ කටයුතු නොකිරීම නිසා සිය මූලික අයිතිවාසිකම් කඩ වීමක් සිදු වූ බවයි.

අලුත්ගම ප්‍රචණ්ඩ ක්‍රියා අබියස පොලිසිය සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරීම නිසා දෙදහසකට අධික මුස්ලිම් ජාතිකයින් අවතැන් වූ අතර හතළිස් අටක් පමණ නිවාස සහමුලින්ම ගිනිබත් කෙරුණු බවයි පෙත්සම් කරුවන් කියා සිටින්නේ.

ගිනිබත් නගරය

තවද, කැරලි කෝලාහලවල දී වෙළඳසැල් 78 ක් ද ගිනිබත් කෙරුණු බව පවසන පෙත්සම් කරුවෝ අනාගතයේ එවැනි අපරාධ ක්‍රියා යළි ඇතිවීම වැළැක්විය හැකි නීති සම්පාදනය කරන මෙන් රජයට නියෝග කරන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

එහෙත් පොලිසියට එල්ල කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරමින් නීතිපතිවරයා කියා සිටියේ, පොලිසිය ඔවුන්ගේ රාජකාරි උපරිම ලෙස ඉටු කළ බවයි.

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් තුන්සියයකට අධික පිරිසකට එරෙහිව නීතිමය පියවර ගත් බව සඳහන් කළ ආණ්ඩුවේ නීතිවේදියා ගැටුමට සම්බන්ධ සිංහල ජාතිකයින් විසි හතර දෙනකුට සහ මුස්ලිම් ජාතිකයින් විසි දෙදෙනකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා ඇති බවත් දැනුම් දුන්නේය.

ඇඳිරි නීතිය

ඉදිරිපත් වූ ඉහත කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ පෙත්සම විභාග කිරීමට අවසර දෙන බවයි.

ඒ අනුව පෙත්සම් විභාගය ලබන ජනවාරි මස 27 වෙනි දින සිදු කිරීමට තීරණය කල අධිකරණය එම දිනයෙහි

පැමිණිල්ලට අදාළ කරුණු දක්වන ලෙස පොලිස් පති ඇතුළු වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කළේය.