ජනධිපතිවරයා මුහුණ දෙන අභියෝග පහක්

Image caption මෛත්‍රීපාල සිරිසේන දේශපාලන අභියෝග හමුවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජනවාරි අටවෙනිදා බලයට පත් වූයේ ස්ව-කැමැත්තෙන්ම තම විධායක දේශපාලන බලයෙන් කොටසක් අත් හරින බව කියමින්.

එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තනතුරෙන් නික්ම ගොස් මැදමුලන තම නිවසේ සිට තමා දේශපාලනය අත් නොහරින බව ප්‍රකාශ කළ අවස්ථාවේ පටන් හමන්නට පටන් ගත් දේශපාලන මාරුතය ක්‍රමයෙන් සැඩ සුළඟක් බවට පත්වුනේ හිටපු ජනාධිපතිවරයාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලැබෙන බව ප්‍රකාශයට පත් වීමත් සමගින්.

ජනාධිපතිවරයාගේ දේශපාලන නායකත්වය පරීක්ෂාවට ලක් කරන මේ සැඩ සුලග හමා යන්නේ අභියෝග රැසක් මතු කරමින්.

වඩාත් ප්‍රබල අභියෝග පහක් පිළිබඳව කෙරෙන විමසුමකි මේ.

සිවිල් සමාජ මිතුරන් විරසක වේද?

Image caption පුරවැසි බලයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ

මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ පෙර ගමන් කරුවන් අතරේ මුල් තැනක් ගත්තේ සිවිල් සංවිධාන ක්‍රියාකරකයින්ය.

මේ අතර මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් නාම යෝජනා ලබා ගැනීමට ඉඩදීම පිළිබඳව චෝදනාවක් ද සමග ජනාධිපතිවරයා හමුවීමට ගිය සිවිල් සමාජ ක්‍රියාකාරකයින් තම හමුව පිළිබඳව දක්වන්නේ එකිනෙකට පරස්පර වූ අදහස්ය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබාදීම සම්බන්ධයෙන් කලබල වීමට කරුණක් නැත.

ඔහුට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තම විධායක බලතල භාවිතා කරමින් පක්ෂයේ බහුතර මතය යටපත් කර දැමීමේ හැකියාවක් නැත.

එහෙත් 'පුරවැසි බලය' සංවිධානය කිරීමට මුල් වූ ගාමිණී වියන්ගොඩට අනුව මෙය පාවා දීමකි.

මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සංධානයෙන් නාම යෝජනා ලබා ගැනීම වලක්වා ලීම සඳහා මෛත්‍රීපාල සිරිසේන සක්‍රීයව මැදිහත් නොවීම සඳහා දක්වන හේතූන් පිළිගැනීමට නොහැකි බවයි ගාමිණී වියන්ගොඩ පෙන්වා දෙන්නේ.

සිවිල් සමාජ ක්‍රියාකාරීන් ගේ ප්‍රතිචාර පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව දැනුවත්ව සිටින අතර එම කණ්ඩායම් සමඟ සංවාදයක නිරත වීමේ ඉඩකඩ තවමත් පවතින බවයි.

එක්සත් ජාතික පක්ෂය සමඟ ගනුදෙනුවට කුමක් සිදු වේද?

Image caption රන්ජන් රාමනායක

'මැතිවරණ දේශපාලන දෘෂ්ටියෙන්' ගැටළුව දෙස බලන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට අනුව මහින්ද රාජපක්ෂට නාම යෝජනා ලබා දීම මගින් සිරිසේන ජනාධිපතිවරයා තමන්ට පහසුවෙන් පරාජය කළ හැකි ප්‍රතිවාදියෙක් ලබාදී ඇත.

එබැවින් තමාට ජනාධිපතිවරයා සමග ප්‍රතිවිරෝධයක් නැති බවයි රංජන් රාමනායක කියා සිටින්නේ.

වාර්ගික ගැටළුව විසඳා ගැනීමට ගොඩ නැගු සංවාදයට කුමක් වේද?

Image copyright AFP
Image caption නිමල්කා ප්‍රනාන්දු

නීතිවේදී නිමල්කා ප්‍රනාන්දු කියා සිටින්නේ ජාතික ගැටළුව විසඳා ගැනීම සඳහා සිරිසේන ජනාධිපතිවරයා පුළුල් සංවාදයක් ගොඩනැගු නමුත් එම සංවාදයට එරෙහි මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට යළිත් බලගතු වීමට ඉඩ දීමෙන් ජනාධිපතිවරයා'කියන දේ සහ කරන දේ' අතර දැඩි පරස්පරයක් සහිත කෙනකු බවට පත් වී ඇති බවයි.

එම තත්වය හමුවේ ජාතික ගැටළුවට තිරසාර විසඳුමක් සොයා ගැනීමට ගන්නා ක්‍රියා මාර්ග වලදී සුළු ජාතීන්ගේ විශ්වාශය දිනා ගැනීම අසීරු විය හැකි බවයි නිමල්කා ප්‍රනාන්දු පෙන්වා දෙන්නේ.

වඩාත් ජාතිකවාදී නැඹුරුවක් සහිත කොටස් සමඟ සංවාදයක් ගොඩ නගා ගැනීම තුළින් ජාතික ගැටළුවට තිරසර විසඳුමක් හොයා ගැනීමට ඉඩ ලැබෙන බවක් දකින පිරිසක් ද සිටිති.

දූෂණ විමර්ශන ඇනහිටීමක් සිදුවේද?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ ප්‍රධාන තේමාවක් වුයේ දූෂණයට එරෙහිව පියවර ගැනීමයි.

දූෂණ විරෝධී සමාජ ක්‍රියාකාරිකයෙකු වන නීතීවේදී ජේ.සී.වැලිඅමුණ කියා සිටින්නේ, මහින්ද රාජපක්ෂ පරිපාලනයේ කොටස් කරුවන් බොහෝ දෙනෙකුට එල්ල වී ඇති දුෂණ චෝදනා විමර්ශනය කිරීමට ඇතැම් නිලධාරීන් මැලි කමක් දැක්වීමට ඉඩ ඇති බවයි.

අනෙක් අතට මේ වන විට දේශීය සහ ජාත්‍යන්තර මට්ටමින් දූෂණ විමර්ශනය කිරීමේ ක්‍රියාවලියක් දැනටමත් දියත් වී ඇති හෙයින් සම්පුර්ණයෙන්ම ඇතැයි ජේ.සී වැලිඅමුණ පෙන්වා දෙයි.

ශ්‍රීලංකා නිදහස් පක්ෂය තුළ මතුවෙන ගැටළු වලට මුහණ දීමට සිදුවේද?

Image caption මෛත්‍රී - මහින්ද සංවාදය

සිරිසේන ජනාධිපතවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල සභාපතිවරයා වුනත් පක්ෂයේ සියළු ස්තර වල සහයෝගය ලබා ගනිමින් මහ මැතිවරණ ක්‍රියාවලිය මෙහෙයවීමට ඔහු සමත් වේද යන්න ප්‍රශ්නයකි. අනෙක් අතට ඔහු මැතිවරණ ක්‍රියාවලියෙන් ඈත්ව සිටියහොත් නායකත්ව අභියෝගය තවත් තීරණාත්මක වීමට ද ඉඩ තිබේ.

සමස්තයක් ලෙස ගත් කළ සිරිසේන ජනාධිපතිවරයාට විධායක බලතල හිමිව ඇති හෙයින් ඔහුගේ ධුර කාලය ව්‍යවස්ථාමය මට්ටමින් සුරක්ෂිත වූවකි.

එහෙත් අනෙක් අතට දේශපාලන බලා අධිකාරය පවත්වා ගෙන යාම සඳහා ගමන් කළ යුතු මාර්ගය ඒ තරම් ම සුමට නොවීමට ඉඩ ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ කැමැත්තට එරෙහිව ප්‍රතිවාදියාට ඉඩ දීමට සිදු වූ දුර්වලයෙක්ද? එසේ නැතිනම් දේශපාලනයේ දී මතුවෙන අභියෝගවලට උපායිකව මුහුණ දීමේ හැකියාවක් සහිත පුද්ගලයෙක්ද? යන්න ඉදිරි කාලය ඇතුළත බරපතල මට්ටමින් සංවාදයකට ලක් වීමට ඉඩ ඇත.