උතුරු නැගෙනහිර දේශපාලනයට නව අභියෝගයක්

මැතිවරණ සමයේදී කවර හෝ දේශපාලන පක්ෂයකට සහය ලබා දීමට හෝ කිසිදු දේශපාලන පක්ෂයක් සමග ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් නැතැයි දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.

දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික්ක්යේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් එසේ පැවසුවේ දෙමළ ජාතික සන්ධානය වෙණුවෙන් නාමයෝජනා ලබා දීමට අද 10 වෙනිදා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණීමෙන් පසුව මාධ්‍යවේදීන් අමතමින්.

ඔහු තවදුරටත් කියා සිටියේ බලයට පත් වන නව රජයට දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරණු ලබන ඉල්ලීම් ඉටුකිරීමට හැකිනම් පමණක් එම රජයට සහයෝගය ලබා දෙන බවයි.

එම ඉල්ලීම් මොනවාදැයි විමසූවිට ඔහු කියා සිටියේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලන විසදුමක් ලබාදීම, යුද්ධයෙන් විපතට පත්වූවන් නිසිලෙස යළි පදිංචි කොට අවසන් කිරීම, අතුරුදහන් වූ සහ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය ගැන සොයා බැලීම සහ උතුරේ වැසියන්ට අහිමි වූ සියලු ඉඩම් ආපසු ලබාදීම වැනි ඉල්ලීම් දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් බවයි.

ස්වාධීන කණ්ඩායමක්

මේ අතර දෙමළ ජාතික සන්ධානයෙන් මෙවර නාමයෝජනා අහිමි වූ එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු සාමාජිකයින් පිරිසක් ස්වාධීන කණ්ඩායමක් වශයෙන් යාපනය දිස්ත්‍රික්කයට නාම යෝජනා ලබා දීම සදහා අද 10 වෙනිදා ඇප මුදල් තැන්පත් කොට තිබුණි.

මේ සම්බන්ධයෙන් එම කණ්ඩායම මෙහෙයවන උදයන් පුවත් පතේ හිටපු ප්‍රධාන කර්තෘ නඩේෂපිල්ලෙයි විද්‍යාදරන්ගෙන් තොරතුරු විමසූ විට ඔහු කියා සිටියේ කල්වේලා නොමැතිකම නිසා මෙවර ස්වේච්ඡා කණ්ඩායමක් වශයෙන් යාපනය දිස්ත්‍රික්කයට නාම යෝජනා ලබා දීමට තීරණය කළ බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පෙරමුණ

දෙමළ ජාතික සන්ධානයෙන් නාම යෝජනා අහිමි වූ පසු එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයින් පිරිස වෙණුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සටන්කාමී පෙරමුණ වශයෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා එය ලියාපදිංචි කොට මෙවර මහමැතිවරණයට අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට උත්සහ කළද කාලවේලාව ප්‍රමාණවත් නොවූ හෙයින් ඊට ඉඩක් නොලැබුණු බවද විද්‍යාධරන් කියා සිටියේය.

නමුත් ඉදිරි මැතිවරණ සදහා තරඟ කිරීමට එම පක්ෂය ඉතා ඉක්මනින්ම ලියාපදිංචි කරණ බව කී විද්‍යාධරන් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙණුවෙන් සටන් කළ මේ පිරිසට උතුරු නැගෙනහිර දෙමළ ජනතාව තුළින් විශාල පිළිගැනීමක් ලැබෙනු ඇතැයිද පැවසීය.

මෙවර දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටි උතුරු පළාත් සභාවේ ආනන්දි සසිහරන් මන්ත්‍රීවරියට එම අවස්ථාව නොලැබුණු බැවින් තම දේශපාලන සටනට ඇගේ සහාය ලබාගැනීමට ක්‍රියාකරගෙන යන බවද විධ්‍යාධරන් කියා සිටි අතර හිටපු එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් යොදා ගෙන පිහිටුවනු ලබන නව දේශපාලන පක්ෂය හරහා උතුරු නැගෙනහිර මුල් බැසගත් දේශපාලනයට නව අභියෝගයක් එල්ල කරණ බවද ප්‍රකාශ කළේය.