මහින්ද රාජපක්‍ෂට යළි බලය හිමිවේ ද?

Image copyright Reuters

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්ෂකයෙක් ලෙස ලබන අගෝස්තු 17 වෙනිදා පැවැත්වෙන මහමැතිවරණයට ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම තහවුරු කර තිබේ.

මහින්ද රාජපක්ෂ පරාජයට පත් කරමින් ජනාධිපති ධුරයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජනතා නිදහස් සංධානයේ නායකත්වය දැරුවත් සිය ප්‍රධාන ප්‍රතිවාදියා මැතිවරණයට ඉදිරිපත් වීම වැලක්වීමට ඔහු අපොහොසත් විය.

සංධානයේ පාලනය කාගේ අතද?

හිටපු ජනාධිපති රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් නාම යෝජනා ලබා දීමට ගත් තීරණය ජනවාරි ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේනට සහාය ලබා දුන් ලක්ෂ සංඛ්‍යාත ඡන්දදායකයන් සහ ක්‍රියාධරයන්ගේ කෝපයට හේතු විය.

මෛත්‍රීපාල සිරිසේන ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණය ජය ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ නායකත්වය තමා අතට ගත් නමුත් හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබා දෙන ලෙස සිය පක්ෂය විසින් කරන ලද බලපෑම් නොතකා සිටීමට ජනාධිපතිවරයාට හැකි වූයේ නැත.

මහින්ද රාජපක්ෂ යළි බලයට ගෙන ඒමට උත්සාහ දරන, ඔහුට හිතවත් දේශපාලනඥයන්ගෙන් පිරුන දේශපාලන පක්ෂයේ, බලය තහවුරු කර ගැනීම සඳහා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු මෛතී‍්‍රපාල සිරිසේන දැඩි උත්සාහයක නිරතවයි සිටින්නේ.

තම ප්‍රතිවාදියා අගමැති අපේක්ෂකයා ලෙස නම් කරනු ලැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුණි.

එහෙත් නාම යෝජනා ලද මහින්ද රාජපක්ෂ සහ ඔහුට හිතවත් කණ්ඩායම ඉතා විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් මැතිවරණය ජය ගැනීමට සමත් වුනොත් අගමැති ධුරය ඉල්ලා සිටීමට ඔවුන්ට හැකි බව රාජපක්ෂ කඳවුරේ විශ්වාසයයි.

රාජපක්ෂට කුරුණෑගල පහසුද ?

හිටපු ජනාධිපතිවරයාට ඔහුගේ දේශපාලන බල ප්‍රදේශය වන දකුණු ලංකාවේ හම්බන්තොට පහසුවෙන් ජය ගත හැකිය.

නමුත් ඔහු මේ මැතිවරණයට හම්බන්තොටින් ඉදිරිපත් නොවේ. ඔහු තරඟ වදින්නේ ලංකාවේ තෙවන විශාලතම මැතිවරණ දිස්ත්‍රික්කය වන වයඹ පළාතේ කුරුණෑගලිනි.

එහි ජනගහණය ලක්ෂ දහසයක් වන අතර හම්බන්තොට ජනගහණයක් අතින් කුඩා මැතිවරණ දිස්ත්‍රික්කයකි.

හිටපු ජනාධිපතිවරයාට අගමැති පදවිය ඉල්ලා සිටීමට නම් ඔහු මෙම මැතිවරණයේදී ඉතා විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත යුතුව ඇත. එවැනි ඡන්ද සංඛ්‍යාවක් හම්බන්තොටින් ලබා ගැනීම දුෂ්කර කරුණකි. රණවිරු පවුල් විශාල සංඛ්‍යාවක් කුරුණෑගල ජීවත් වෙන අතර එය මහින්ද රාජපක්ෂට ශක්තියක් විය හැකිය.

සිරිසේන යුගය අවසන් ද?

Image copyright AFP

මහින්ද රාජපක්ෂට යළි දේශපාලනය කිරීමට ඉඩ ලබා දීම ජනවාරි මාසයේ දී මෛත්‍රීපාල සිරිසේනට ඡන්දය දුන් බොහෝ දෙනාගේ කෝපයට හේතු විය. එම ක්‍රියාව බොහෝ දෙනා විසින් හඳුන්වනු ලද්දේ 'ඒකාධිපතියෙකු පාලකයකු හැටියට බොහෝ දෙනා දුටු රාජපක්ෂ පරාජය කිරීම සඳහා ජනවාරි අටවෙනිදා දුන් ජනවරම පාවා දීමක්' හැටියටයි.

බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකදී අදහස් දැක්වූ වෘත්තීය සමිති නායක සමන් රත්නප්‍රිය 'ඔහු අප පාවා දුන්නා. අපි කවදාවත් හිතුවේ නැහැ-ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග එකතු වෙලා, අපි පරාජය කළ දූෂිත රාජපක්ෂ පාලනය යළි ඇති කරන්න කටයුතු කරාවි කියල' යනුවෙන්මෛත්‍රීපාල සිරිසේන දෝෂ දර්ශනයට ලක් කළේය.

'ලක්ෂ 62 ක් මිනිස්සු රාජපක්ෂට එරෙහිව ඡන්දය දුන්නා, ඔවුන් ඡන්දය දුන්නේ මෛත්‍රීපාල සිරිසේන කියන පුද්ගලයාට නොවෙයි, ඔහු අපේ බලාපොරොත්තු සුන් කළා' මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබා දීම වලක්වා ලීමේ අරමුණින් පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු බීබීසී සංදේශයට අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය කියා සිටියේය.

ජනවාරි 8 වැනිදා සිදු වූ නිහඬ විප්ලවය පාවා දීමට හෝ එක පවුලක පාලනය යළි බිහි කිරීමට ඉඩ නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු විය.

සති කිහිපයක් පුරා පැවති නිහඬතාව බිඳ හෙළමින් ජුලි 14 වෙනිදා ජාතිය ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ප්‍රතිවාදී හිටපු ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණයේ දී යළිත් පරාජයට පත් වන බවයි කියා සිටියේ.

'ජනවාරි 8 වැනිදා පරාජයට පත් මහින්ද රාජපක්ෂ යළිත් පරාජයට පත් වේවි' ජනාධිපති සිරිසේන කියා සිටියි.

'මෙවැනි අනාවැකියක් කීමට කේන්දර බලන්න ඕන නැහැ.ඉතිහාසයට අනුව එවැනි නිගමන වලට එන්න පුළුවන්' ජනාධිපතිවරයා සිය විශේෂ කතාවේදී සඳහන් කළේය.

ජනතාව දක්වන වූ අප්‍රසාදයෙන් වේදනාවට පත් ව සිටින හැඩක් ජනාධිපතිවරයාගෙන් ගම්‍ය විය.

'පසුගිය සති දෙකේ මාව දෝෂාරෝපණයට ලක් කළා වගේ වෙන කිසිම ජනාධිපතිවරයෙකුට දොස් නගා නැහැ. මාව හඳුන්වා දුන්නේ ද්‍රෝහියෙක්, තිරිසනෙක් හැටියට. ඔබ අද රස විදින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගුණාංග' ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

මැතිවරණ ජය කාටද?

මහින්ද රාජපක්ෂ තවමත් බහුතර සිංහල ජනතාව අතර ජනප්‍රිය දේශපාලන චරිතයකි. සිවිල් යුද්ධය නිම කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව දෙමළ බෙදුම්වාදීන් පරාජයට පත් කරන විට මහින්ද රාජපක්ෂ රටේ පාලකයාව සිටි බව ඔවුන් බොහෝ දෙනා තුල තවමත් මතකයේ ඇති කාරණයකි.

එක්සත් ජාතික පක්ෂයේ නායක වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ඇත්තේ පහසු ඡන්ද සටනක් නොවේ.

Image copyright Reuters

මහින්ද රාජපක්ෂ විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ඔහුගේ මැතිවරණ බල ප්‍රදේශය ජයග්‍රහණය කළහොත්, එසේම එක්සත් ජනතා නිදහස් සංධානය රටේ බහුතර ඡන්ද සංඛ්‍යාව ලබා ගතහොත්, ඔහු අගමැතිවරයා ලෙස නම් කරන ලෙසට ජනාධිපතිවරයාට බලපෑම් එල්ල විය හැකියි.

නමුත් තමන් අතින් පරාජයට පත් වූ නායකයකු සමග රට පාලනය කිරීමට සිදුවීම පහසු කටයුත්තක් ද නොවනු ඇත.

කෙසේ වෙතත් අගමැතිධුරය ලබා ගැනීමට ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් පිරිසක් පත් කර ගැනීමට මහින්ද රාජපක්ෂට හැකිවේදැයි විමසන බොහෝ දෙනා යළි බලය ලබා ගැනීමට රාජපක්ෂ දරන නිරර්ථක උත්සාහයක් හැටියටයි ඔහුගේ ආගමනය දකින්නේ.

මැතිවරණය පරාජයට පත් වුවහොත් විපක්ෂයේ සිට සියලු දේ කඩාකප්පල් කරන පුද්ගලයෙක් ලෙස අපහාසයට ලක්වීමේ අවදානමකට මහින්ද රාජපක්ෂ මුහුණ දිය හැකියි. යම් හෙයකින් ඔහු මැතිවරණය ජය ගතහොත් එය ජනවාරි අට වෙනිදා සිදු වූ 'නිහඬ විප්ලවයේ' නිමාව සනිටුහන් කිරීමක් ද විය හැකිය.