මැතිවරණ කොමසාරිස්ගෙන් ෆේස්බුක් ලෝලීන්ට ආරාධනයක්

Image copyright Reuters

යම් වරදක් සිදු වන්නේ නම් ෆේස් බුක් වෙබ් අඩවියේ විවේචනය පළ කිරීමන් පලක් නොවන බවත් ඒ වෙනුවට තම වෙබ් අඩවිය ඔස්සේ පැමිණිලික් ඉදිරිපත් කරන ලෙසත් මැතිවරණ කොමසාරිස්වරයා ෆේස්බුක් ලෝලීන්ගෙන් ඉල්ලීමක් කරයි.

මේ සඳහා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට අදාළ වෙබ් අඩවියේ ‘tell the commissioner’ නමින් ස්ථානයක් වෙන් කර ඇත.

‘යම් වරදක් වෙනවනම් ඒ සම්බන්ධයෙන් අපට පැමිණිලි කිරීමකින් තොරව, පොලිස්පතිවරයා නිදිද? නැත්නම් මැතිවරණ කොමසාරිස්වරයා නිදිද? කියල ෆේස් බුක් එකේ දාන්න එපා. අපට පැමිණිල්ල එවල අපි ක්‍රියා කලේ නැත්නම් අපෙන් අහන්න ඊට පස්සේ අපි පැමිණිල්ලක් එව්වා, ඒකට ගත්ත පියවර මොකක්ද කියල.’ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පැවසීය.

හිටපු මන්ත්‍රී ආරක්ෂාව

Image copyright AFP

මේ අතර තුර ඡන්ද අපේක්‍ෂකයන් වී සිටින හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එය ද්වේශ සහගතව ගත් පියවරක් නොවන බවයි.

‘එය කිසි සේත්ම එක් පක්ෂයකට කරනු ලැබූ දෙයක් නෙමෙයි. ඒ වගේම හිටපු මන්ත්‍රී වරුන් කෙරෙහි ද්වේශයෙන් කරපු දේකුත් නෙවෙයි. 2015 ජුනි මස තිස් වෙනිදා මමත්, පොලිස්පතිවරයාත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාත් හමු වී සාකච්ඡා කිරීමෙන් තමයි ඒ තීන්දුවට එළඹුණේ.’ මැතිවරණ කොමසාරිස්වරයා තවදුරටත් පැවසීය.