ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජාතීන් එක් කළ රාමසාන් උළෙලක්

මාසයක උපවාස කාලයක් සැපිරීමෙන් පසු අද (18) ශ්‍රී ලංකාව පුරා ඉස්ලාම් ලබ්ධිකයෝ රාමසාන් උත්සවය සමරනු ලබති.

අද පෙරවරුවේ විශේෂ රාමසාන් සැමරුමක් නාත්තන්ඩිය නගරයේ මුස්ලිම් පල්ලියේ පැවැත්විය.

එම රාමසාන් උත්සවයට ඉස්ලාම් ලබ්ධිකයන් පමණක් නොව ප්‍රදේශයේ කතෝලික, බෞද්ධ මෙන්ම හින්දු භක්තිකයන් ද සහභාගී වීම විශේෂත්වයක්.

පැයක පමණ රාමසාන් විශේෂ යාඥාවක් පැවැත්වීමෙන් අනතුරුව ඉස්ලාම් ලබ්ධිකයන් විසින් සිය සහෝදර අනිකුත් ආගම් වල ප්‍රදේශවාසීන්ට පල්ලිය තුලට ආරාධනා කරනු ලැබුනි.

මුස්ලිම් සහෝදරයින්ට සංග්‍රහයක්

ආගමික මෙහෙය පැවැත්වූ සහිරා විද්‍යාලයේ හිටපු විදුහල්පති එම් එච් එම් හසාලි කියා සිටියේ ආගම් භේදයකින් තොරව සියලු දෙනාම එකට වාඩි වී රාමසාන් මෙහෙයට සහභාගී වී ආහාර අනුභව කිරීම ඉතාමත් සතුටට පත් විය හැකි අවස්ථාවක් බවයි.

එම් එච් එම් හසාලි වැඩි දුරටත් කියා සිටියේ අප සියල්ලන් එක හා සමාන මිනිසුන් වන බැවින් ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන් සියලුම ආගම් එකමුතුව සාමයෙන් ජීවත් වීමට කටයුතු කිරීමට උත්සාහ දැරිය යුතු බවයි.

එම රාමසාන් විශේෂ උත්සවය සංවිධානය කිරීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළ නාත්තන්ඩිය වෙළඳ සංගමය විසින් සිය මුස්ලිම් සහෝදරයින්ට සංග්‍රහයක් ද සුදානම් කර තිබුණි.

නාත්තන්ඩියේ පදිංචි රජිත් ප්‍රසන්න කියා සිටියේ පසුගිය කාලයේ සිංහල මුස්ලිම් ආරවුල් ඇති වූ අවස්ථාවල නාත්තන්ඩිය ප්‍රදේශවාසීන් ආගම් භේද පසෙකලා එක්සත්ව ක්‍රියා කරමින් ව්‍යාපාර ස්ථාන රැක ගත් අතර සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ ජනතාව එක්ව ගැටළු වලට මුහුණ දුන් අන්දම රටටම ආදර්ශයක් වන බවයි.