මහින්ද දුෂිත නැහැ-හිටපු ජනපති මාධ්‍ය ප්‍රකාශක

mahinda rajapaksha Image copyright AP

බීබීසී සංදේශය සමඟ සංවාදයකට එක් වෙමින් අමාත්‍ය මංගල සමරවීර විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් නැගු සියළු චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව මාධ්‍ය ප්‍රකාශක රොහාන් වැලිවිට කියා සිටී.

හිටපු ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඇයිදැයි බීබීසී යේ අසාම් අමීන් විමසු විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීමෙන් දුෂණ විමර්ශන වලින් බේරී සිටීමේ වැඩි ඉඩක් ඔහුට ලැබෙතැයි සිතා මැතිවරණයට ඉදිරිපත් වුවා විය හැකි යැයි මංගල සමරවීර අමාත්‍යවරයා කියා සිටියේය.

සැඟවූ ජාත්‍යන්තර වත්කම් පිළිබඳ චෝදනා

හිටපු ජනාධිපතිවරයා ගේ සැඟවූ වත්කම් පිළිබඳව මංගල සමරවීර චෝදනා නගතත් ලෝක බැංකුව හෝ විමර්ශනයට සහයෝගය දෙන බව කියන කිසිදූ රටක් මේ තාක් ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කොට නැත.

මේ චෝදනා නැගුනු වහාම නිවේදනයක් නිකුත් කළ හිටපු ජනාධිපතිවරයා මේ චෝදනා ප්‍රතික්ෂේප කළ බවද වැලිවිට පෙන්වා දෙයි.

මහා බැංකු බැඳුම්කර අර්බුදය

මහා බැංකුවට බැදුම්කර වලින් ණය ලබා ගැනීමේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් පත් කළ මහා බැංකු අධිපතිවරයා වරදක් සිදුකොට ඇති බවට මේ තාක් හුදු ප්‍රකාශ වලට වැඩි යමක් ඉදිරිපත් වී නැති බවට සමරවීර ඇමතිවරයා නගන තර්කය පිළිගත නොහැකි බවයි රෝහාන් වැලිවිට කියා සිටින්නේ.

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට මහා බැංකු අධිපතිවරයාගේ දෝෂ සහිත වැඩපිළිවෙල ඉදිරිපත් වූ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැර මේ අර්බුදයට වගකිවයුතු රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව බේරා ගැනුණ බවයි වැලිවිට තර්ක කරන්නේ.

'මහින්ද පාර්ලිමේන්තුවට පැමිණියත් අගමැති විය නොහැකියි'

Image copyright AP

හිටපු ජනාධිපතිවරයා අගමැති ලෙසින් පත් කිරීමට අදහසක් නැති බව වර්තමාන ජනධිපති විසින් දැනටමත් ප්‍රකාශ කොට ඇති හෙයින් මහින්ද රාජපක්ෂ හට පාර්ලිමේන්තුවේ පසුපෙළට වැඩි යමක් හිමි නොවන බව මංගල සමරවීර ඇමතිවරයා විසින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් රොහාන් වැලිවිට කියා සිටියේ දැවැන්ත ජන වරමකින් පාර්ලිමේන්තුවට එන මහින්ද රාජපක්ෂ අගමැති වීම කාටවත් වලක්වා ලිය නොහැකි බවයි.

“ ගැටළු ඇතිවෙනවා නම් එතුමා (ජනාධිපතිතුමා) මෙතුමාට (හිටපු ජනාධිපතිතුමාට) නාම යෝජනා දෙන්නේ නැහැනේ.මේ දෙන්නා අවුරුදු හතලිස් නමයක් එකට යාළුවෝ වගේ ඉඳලා මාස දෙකක ප්‍රශ්නයක්ණේ ඇතිවුනේ” යැයි වැලිවිට පැවසීය.

ඩයස්පෝරාවට නැගෙන විරෝධය

ඩයස්පෝරාව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමෙන් අත් කර ගත හැකි වාසිය කුමක් දැයි විමසුවිට මංගල සමරවීර ඇමතිවරයා කියා සිටියේ ඩයස්පෝරාව යනු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සියළු දෙනා බවත් ශ්‍රී ලංකාවට ආඩම්බරවිය හැකි ලංකා පුත්‍රයින් ලංකාවට ගෙන්වා ගැනීමේ වරද කුමක්ද යන්නයි.

මේ පිළිබඳව අදහස් පල කළ රොහාන් වැලිවිට කියා සිටියේ වර්තමානයේදී ඩයස්පෝරාව සිංහල සහ දෙමළ යනුවෙන් දෙකට බෙදී තිබෙන බවත් මංගල සමරවීර ආමන්ත්‍රණය කරන්නේ දෙමළ ඩයස්පෝරාවට පමණක් වන බවත්ය.