ජනක බණ්ඩාර ආණ්ඩුවෙන් ඉවත් වෙයි

Image copyright Janaka Bandara Thennakoon

පළාත් සභා සහ ප්‍රාදේශීය සංවර්ධන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් සිය ඇමති පදවියෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.

බීබීසී සංදේශය විමසීමක් කළ විට ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක් කියා සිටියේ එම ඉල්ලා අස්වීමේ පුවත තහවුරු කරන බවයි.

ජනක බණ්ඩාර තෙන්නකෝන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක නායකයකු වූ හිටපු සංස්කෘතික ඇමති ටී.බී.තෙන්නකෝන්ගේ පුත්‍රයකු වන අතර මධ්‍යම පළාතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල නායකයකු වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හදිසි සාකච්ඡාවක් සඳහා ඉදිරිපත් වූ ඉල්ලීමක් ජනාධිපතිවරයා විසින් බැහැර ලනු ලැබීම ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ ඉල්ලා අස්වීමට හේතු වී ඇති බවයි මාධ්‍ය වාර්තා මගින් පැවසෙන්නේ.

එසේම පසුගියදා ජනාධිපතිවරයා විසින් කරන ලද විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ජනක බණ්ඩාර තෙන්නකෝන් සිය අප්‍රසාදය පළ කර තිබුණි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව හදිසි ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළේ වහාම සිය පක්සහ්යේ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවිය යුතුව ඇති බවයි.