අතුරුදහන් වූ දැරිය දූෂණය කොට මරා දැමුණු බවට සැකයක්

කිලිනොච්චියේ උරිතිරපුරම් එලුක්කාඩු ගම්මානයේ දී අතුරුදහන් වූ උදයකුමාර් යර්ෂිකා නැමති තුන් හැවිරිදි දැරිය දූෂණය කොට මරා දමා ඇති බවට සැක කරන බව මූලික පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා ප්‍රකාශ කරයි.

දැරියගේ මළ සිරුර බෙහෙවින් නරක් වී ඇති බැවින් ඒ පිළිබඳ නිශ්චය වශයෙන්ම ස්ථිර වාර්තාවක් ලබා දීමට මළ සිරුරේ කොටස් වෝහාරික වෛද්‍ය විශේෂඥයෙකු වෙත යොමු කළ යුතු බවද අධිකරණ වෛද්‍ය නිලධාරියා සඳහන් කොට තිබේ.

දැරිය අතුරුදහන් වූයේ පසුගිය ජූනි මස විසි එක් වෙනිදා පවුලේ පිරිසක් සමග දිය නෑමට ගොස් සිටි අවස්ථාවේදීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ දැරිය දූෂණය කළ බව කී වයස අවුරුදු දාහතරක සැකකරු 27 දා අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලැබුණු බවයි.

ඇගේ මළසිරුර පසුගිය ජූලි දහනව වෙනිදා කිලිනොච්චියේ වෙල් යායක තිබී පොලිසියට හමු වන විට බෙහෙවින් නරක් වී ඇටසැකිල්ලක් බවට පත්ව තිබූ අතර ඒ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පැවැත්වීම පිණිස යාපනය රෝහල වෙත බාරදී තිබුණි.

අතුරුදහන් වීමෙන් පසු

දැරිය අතුරුදහන් වීමෙන් පසුව ඇය සෙවීමට පොලිසිය, නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සොල්දාදුවන් හාරසිය දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් දින පහක් මුළුල්ලේ යොදවා තිබුණි.

පොලිසිය හා ගම්වාසීන් ද දැරිය සෙවීමේ කටයුතු වල නිරත විය.

නමුත් ඔවුන්ට දැරිය පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොලැබුණු අතර දැරියගේ මළ සිරුර වෙල් යායක ඇති බව පොලිසියට පවසා තිබුණේ තමන්ගේ කුඹුරු බැලීමට ගිය ගොවීන් පිරිසක් විසිනි.

පොලිසිය සැක කරන්නේ දැරිය වෙනත් ස්ථානයක රඳවා ගෙන සිට පසුව මරා දමා ඇගේ සිරුර වෙල් යායට ගෙනැවිත් දමන්නට ඇති බවයි.

කිලිනොච්චිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති තරුණයෙකු පොලිසියට පවසා ඇත්තේ තමන් එම දැරිය දූෂණය කළ බවත් සිද්ධිය පවසනු ඇතැයි යන බිය නිසා ඇගේ ගෙල සිර කොට මරා දමා සිරුර අසල වූ බෝක්කුවකට දැමූ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය පුද්ගලයින් හතර දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කර ගෙන යන බවයි පැවසෙන්නේ.