වත්කම් බැරකම් දී ඇත්තේ සියයට 'හැටයි'

Image copyright bbc

මෙවර මහ මැතිවරණයට තරඟ කරන අපේක්ෂයන්ගෙන් හය දහසෙන් මෙතෙක් වත්කම් බැරකම් ලබාදී ඇත්තේ 60% ක් පමණක් බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පවසයි.

මේ පිළිබඳව හොයාබැළු කොළඹ බීබීසි වාර්තාකරු අසාම් අමීන් පවසන පරිදි මැතිවරණයකට පෙර එයට තරග කරන අපේක්ෂකයන් වත්කම් බැරකම් ලබාදිය යුතු බවට පනවා ඇති නීතියට සියළුම අපේක්ෂකයින් අවනත නොවීම පුරුද්දක් බවට පත්ව ඇත.

මැතිවරණ කොමසාරිස්වරයා මෙවර එම නිතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට සුදානම් බව කියා සිටියේ මැතිවරණ මහලේකම් කාර්යාලය විසින් නිකුත් කරනු ලබන අපේක්ෂක හැඳුනුම්පත වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදෙන අපේක්ෂකයින් සඳහා පමණක් නිකුත් කරන බව පවසමින්.

නීතිමය බලයක්

Image caption මහින්ද දේශප්‍රිය-මැතිවරණ කොමසාරිස්

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනයේ ශාන් විජේතුංග පවසන ආකරයට වත්කම් බැරකම් ලබාදීම අතින් ඉදිරියෙන්ම සිටින්නේ ජනසෙත පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණයි.

" දිස්ත්‍රික්ක 25ටම තරග කරන ජනසෙත පෙරමුනේ සියළු අපේක්ෂකයන් වත්කම් බැරකම් ලබාදී තිබෙනවා, ජනතා විමුක්ති පෙරමුණේත් 95%ක් පමණ ලබාදී තිබෙනවා, ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන්ගෙන් 70% පමණයි තවමත් වත්කම් බැරකම් ලබාදී තිබෙන්නේ" යැයි ශාන් විජේතුංග කියා සිටියේය.

වත්කම් බැරකම් භාර දෙන නොදෙන අපේක්ෂකයන් සම්බන්ධයෙන් පියවර ගැනීමේ හැකියාව මැතිවරණ කොමසරිස්වරයා සතු බවයි ශාන් විජේතුංග වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

" නීතිමය ගැටළුවක් නැහැ, මොකද මැතිවරණය අවසන් වෙලා මාස 3ක් යන කම් අපේක්ෂකයන්ට අවස්ථාව තිබෙනවා තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ බාරදෙන්න, ඒ මාස 3 ඇතුලත බර දුන්නේ නැත්නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්න මැතිවරණ කොමසාරිස්ට නීතිමය බලයක් තියෙනවා"

දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමේ දී කරන ලද ඉල්ලීමකට අනුව අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ට තිබු අවසන් දිනයට අගෝස්තු 05 දක්වා දීර්ඝ කරන බව මැතිවරණ දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේය