මුස්ලිම් පක්ෂ මැතිවරණ ප්‍රතිපත්ති නිකුත් කොට නෑ - චෝදනා

මහ මැතිවරණයට ඇත්තේ කෙටි කාලයක් වුවද ප්‍රධාන මුස්ලිම් දේශපාලන පක්ෂ තවමත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ නිකුත් කොට නැති බව නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව ප්‍රකාශ කරති.

ඔවුහු මේ සම්බන්ධයෙන් විවිධ චෝදනා හා තර්ක විතර්ක ඉදිරිපත් කරති.

මෙවර මහමැතිවරණයෙදී එක්සත් ජාතික පක්ෂය හා එක්ව තරඟ කිරීමට ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබේ.

දිස්ත්‍රික්ක දහයක් සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ තරඟ කරන බවත් එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා නොලැබෙන දිස්ත්‍රික්ක සඳහා මුස්ලිම් කොංග්‍රසය වෙනම තරග කිරීමටත් තීරණය කර ඇති බවත් එම පක්ෂය ප්‍රකාශ කළේය .

එම ස්ථාවරය මත ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජාතික පෙරමුණ සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුණේ එහි ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වූ අවස්ථාවෙදීයි.

ප්‍රධාන මුස්ලිම් පක්ෂ වන ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහ සමස්ථ ලංකා ජනතා කොන්ග්‍රසය තවමත් මැතිවරණ ප්‍රතිපති ප්‍රකාශන එළිදක්වා නැත.

ත්‍රිකුණාමලේ තෝපුර් ප්‍රදේශයේ පදිංචි ඒ.කේ.එම්.පවුසි පවසන්නේ මේ පක්ෂවලට ස්ථිර ප්‍රතිපත්තියක් නොමැති බව එයින් පෙනී යන බවයි.

නමුත් තවත් සමහරෙක් එම මතයට එකඟ නොවේ.

Image caption නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව

මුස්ලිම් පක්ෂවල අනන්‍යතාවය

සමස්ථ ලංකා ජනතා කොන්ග්‍රසයේ ලේකම් වයි.එල්. එස් හමීඩ් පවසන්නේ මුස්ලිම් පක්ෂවල අනන්‍යතාවය නොමැති බවට නැගෙන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවයි.

සුළු ජාතික පක්ෂ ප්‍රධාන පක්ෂ සමග එක්ව තරග කිරීමෙන් ජය ලබා මුස්ලිම් ජනතාව වෙනුවෙන් සේවයක් කළ හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.

එම මුස්ලිම් පක්ෂවල අරමුණු ඉෂ්ට කර ගැනීමේදී ගැටළු මතුවිය හැකි බවයි පුත්තලම පදිංචි ෆාතිමා ශරීකා පෙන්වා දෙන්නේ.

සුළු පක්ෂ කෙසේ ජය ගත්තත් ඔවුන් උත්සාහ කරන්නේ ප්‍රධාන පක්ෂ හා එක්ව කටයුතු කිරීමට බව පවසන ඇය, එම හේතුවෙන් මුස්ලිම් ග්‍රාමීය ප්‍රජාව තැබූ බලාපොරොත්තු කඩවී යන බවයි.

ඔවුන් විශ්වාස කරන්නේ තම නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවා තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට උත්සහ කිරීමට වූවත් ප්‍රධාන පක්ෂ හා එක්වීමෙන් ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙන බවයි ඇය කියා සිටින්නේ.

මේ නිසා ඔවුන්ගේ අනන්‍යතාව නැතිවී යන බවත් ඇය තවදුරටත් ප්‍රකාශ කළාය.