චන්ද්‍රිකා සහාය දෙනවා, වේදිකාවේ නෑ - අර්ජුන

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යහපාලන ආණ්ඩුවට සහාය දක්වන නමුත් සිය මැතිවරණ වේදිකාවට ගොඩ නොවනු ඇති බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

හිටපු ජනාධිපතිනිය ඉරිදා උදය වරුවේ මහර පිහිටි ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණ සිය මැතිවරණ ව්‍යාපාරයට ආශීර්වාද කළ බවද අමාත්‍යවරයා බීබීසී සංදේශයට පැවසීය.

Image copyright Ranil Wilckramasinghe
Image caption "මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති පදවියට ගේන්න මූලිකව ක්‍රියා කළේත් එතුමිය. අද වෙන කොටත් රට නිවැරදි මාර්ගයේ ගෙන යාමට එතුමිය යහපාලන ආණ්ඩුවත් සමඟ ඉන්නවා."

මහින්ද රාජපක්ෂ පරිපාලනයෙන් 'සිදු වූ විනාශයෙන්' රට ගොඩ ගැනීම පිණිස 'මුල්ම වෙඩිල්ල තැබුවේ' හිටපු ජනපතිනිය බැවින් ඇය අනිවාර්යයෙන්ම යහපාලන ආණ්ඩුවට සහාය පළ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

"හැබැයි එතුමිය මම හිතන්නේ දේශපාලන වේදිකාවේ යනවට වඩා එතුමිය හුඟාක් වෙලාවට යහපාලන ආණ්ඩුවක් ගැන කථා කරන ගමනකදී ඉදිරිපත් වෙන්න පුළුවන්," අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කළේ සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී.

'ලිඛිත දැනුම්දීමක් නෑ'

එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීමට තීරණය කළ රණතුංග අමාත්‍යවරයා, රාජිත සේනාරත්න අමාත්‍යවරයා, එම් කේ ඩී එස් ගුණවර්ධන අමාත්‍යවරයා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පළාත් සභා මන්ත්‍රීවරිය ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කළේය.

Image caption "අද අපිට අවශ්‍ය වෙන්නේ පක්ෂයක් ගැන හිත හිත පක්ෂයේ දේශපාලනය කරන එක නෙවෙයි. අද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ යහපාලන ආණ්ඩුවක් හදන්න"

ඒ සමඟ ඔවුන්ට සහාය දීමට පක්ෂයේ අනුශාසකවරියක වන හිටපු ජනපතිනියට හැකියාවක් තිබෙන්නේද යන්න සංදේශය අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්නයක්.

එවැනි අත්හිටුවීමක් පිළිබඳව තමන්ට තවමත් දැනුම්දීමක් ලැබී නැති බවයි එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

Image copyright AFP

"කොහොම වුනත් අපි ඒ ගැන සාකච්ඡා කරන්න යන්නේ නෑ. අද අපිට අවශ්‍ය වෙන්නේ පක්ෂයක් ගැන හිත හිත පක්ෂයේ දේශපාලනය කරන එක නෙවෙයි. අද අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ යහපාලන ආණ්ඩුවක් හදන්න."

"මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති පදවියට ගේන්න මූලිකව ක්‍රියා කළේත් එතුමිය. අද වෙන කොටත් රට නිවැරදි මාර්ගයේ ගෙන යාමට එතුමිය යහපාලන ආණ්ඩුවත් සමඟ ඉන්නවා. එතුමියගේ ආශිර්වාදය අපිට තියෙනවා," අමාත්‍ය අර්ජුන රණතුංග වැඩිදුරටත් පැවසීය.