හිටපු නියෝජ්‍ය ඇමති රිමාන්ඩ් භාරයේ

Image copyright Lanka Mirror

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා ලබන 6 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට මාතලේ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මාතලේ දේශපාලන පක්ෂ ආධාරකරුවෙකුට පහර දීම සඳහා අනුබල දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට බාර වීමෙන් පසුවයි ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ.

එක්සත් ජාතික පක්ෂයේ මාතලේ රත්තොට ආසන සංවිධායිකා රෝහිණි කවිරත්නගේ නිවසේ පිහිටුවා ඇති මැතිවරණ කාර්යාලයේ සේවයේ නියුතු පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහර දීමට අනුබල දීම ලක්ෂ්මන් වසන්ත පෙරේරා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනාවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සිව් දෙනෙක් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා අගෝස්තු 12වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ අතර එක්සත් ජාතික පාක්ෂිකයකුට බැන තර්ජනය කළැයි සැක පිට අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධාන අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අගෝස්තු දෙවනදා ඇප මත නිදහස් කර තිබේ.