මඩොල් දූවේ කසල: 'කලින් ඉවත් කළා'

Image copyright Shivanthi Fernando

සංචාරකයින් කැලි කසල ඉවත දැමීම හේතුවෙන් හානියට පත්ව තිබෙන මඩොල් දූවේ කසල බැහැර කිරීමට කොමසාරිස් පාලනයකට නතු කිරීමට පෙර තමන් මැදිහත් වූ බව හබරාදුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඩිල්ශාන් විදානගමගේ පවසයි.

සුප්‍රකට ගත්කතුවර මාටින් වික්‍රමසිංහයන් විසින් රචනා කරන ලද මඩොල් දූව කෘතිය ඇසුරින් ජනාදරයට පාත්‍ර වූ මඩොල් දූවේ පොලිතීන්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය තැනින් තැන ඉවත දමා තිබෙන ආකාරය පසුගියදා එහි සංචාරයක නිරත වූ මාධ්‍යවේදීන්ට දැක ගත හැකිවිය.

දූව නැරඹීමට පැමිණෙන පාසල් සිසුන්ගේ පහසුව තකා දකුණු පළාත් සභාව විසින් ප්‍රාදේශීය සභාව ඔස්සේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කර තිබුණද ප්‍රාදේශීය සභාව විසුරුවා හැරීමෙන් අනතුරුව එම වැඩපිළිවෙළ තාවකාලිකව නතර වූ බවයි, ඩිල්ශාන් විදානගමගේ බීබීසී සංදේශයට කියා සිටියේ.

Image copyright Shivanthi Fernando

මඩොල් දූව පිරිසිදු කිරීමේ කටයුතු ප්‍රධාන වශයෙන් පැවරී ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියට බවද ඔහු පැවසීය.

මඩොල් දූවේ බොහෝ තැන්වල තබා ඇති කැලි කසල බඳුන් පිරිසිදු කිරීමේත් ඒවා ගොඩබිමට රැගෙන ඒමේත් වගකීම පැවරී ඇති හබරාදූව ප්‍රාදේශීය සභාව එම කර්තව්‍ය භාර දී ඇත්තේ දූවට සංචාරකයින් ප්‍රවාහනය කරන කණඩායම්වලටයි.

එහෙත් සිය ජීවිකාව වෙනුවෙන් සංචාරකයින් මඩොල් දූවට ප්‍රවාහනය කරන මෙම පුද්ගලයින්ට පාරිසරික වටිනාකම හා ජෛව විවිධත්වය අතින්ද ප්‍රසිද්ධියක් උසුලන මෙම දූපතේ කැලි කසල ඉවත් කිරීම සම්බන්ධව නිසි අවබෝධයක්තිබෙන හැඩක් නොපෙනේ.

සංචාරකයින්ට අවවාද කිරීම සඳහා අත්‍යාවශ්‍ය පුවරුවක් හෝ සවි කිරීමට ප්‍රාදේශීය සභාව කටයුතු කර ඇති බවක්ද දැකගන්නට නොලැබිණ.

මඩොල් දූව යනු මාටින් වික්‍රමසිංහ පරපුරේ පෞද්ගලික දේපලක් වන අතර එය විධිමත්ව පවත්වා ගෙන යාමේ ප්‍රධාන තීන්දු තීරණ ගැනීමේ වගකීම සහ අයිතිය පැවරී තිබෙන්නේ මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය පවත්වාගෙන යන කළමනාකාරීත්වයටයි.

කෙසේ නමුදු කෞතුකාගාරය හා ප්‍රාදේශීය සභාව අතර පෙර පැවති ඒකාබද්ධතාවය බිඳ වැටීමද මෙම තත්ත්වයට බල පා ඇති බව පෙනෙන්නට තිබේ.