වසීම් තාජුදින්ගේ දේහය සඳුදා ගොඩ ගැනීමට අවසර

රග්බි ක්‍රීඩක වසීම් තාජුදින්ගේ මළ සිරුර ලබන සඳුදා (10) ගොඩ ගැනීමට ගොඩ ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ.

වසර 2012 දී මිය ගිය වසීම් තාජුදින්ගේ මළ සිරුර මිහිදන් කර ඇත්තේ දෙහිවල ජුම්මා මුස්ලිම් දේවස්ථාන සුසාන භුමියේ යි.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ තාජුදින්ගේ මරණය හේතු වූ සත්‍ය කරනු අනාවරණය කර ගැනීම සදහා අදාළ මෘත දේහය ගොඩ ගැනීමට අවශ්‍ය බවට රහස් පොලිසිය ඉදිරිපත් කරන ඉල්ලීම යුක්ති සහගත බවයි.

මෙම තීන්දුව ප්‍රකාශයට පත් වන අවස්ථාවේ දී මියගිය පාර්ශවයේ නීතිවේදීන් හෝ ඥාතීන් කිසිවකු අධිකරණයේ පෙනී සිටියේ නැත.

'මිනී මැරුමක්'

Image caption වසීම් තාජුදින් ගේ දේහය මිහිදන් කර ඇති ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ

2012 වසරේ නාරාහේන්පිට පාක් වීදියේ දී සිය වාහනය තුල දී වසීම් තාජුදින් මරණයට පත් වී තිබුණි.

එම වකවානුවේ පොලිසිය ප්‍රකාශ කර තිබුණේ මෙය රිය අනතුරක් නිසා ඇතිවූ මරණයක් බවයි.

එහෙත් අදාළ මරණය සැකකටයුතු බවට මියගිය අයගේ පාර්ශවයේ නීතිවේදීන් කියා සිටියද ඒ පිලිබදව පරීක්ෂණයක් සිදු කෙරුණේ නැත.

එහෙත් නව රජය බලයට පත්වීමෙන් පසුව මෙම මිනීමැරුමට අදාළ පරීක්ෂණයක් ආරම්භ කෙරුණු අතර ඉකුත් දා රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කියා තිබුනේ වසීම් තාජුදින්ගේ මරණය රිය අනතුරකින් සිදු වූවක් නොව මිනි මැරුමක් බව විශ්වාස කළ හැකි තොරතුරු ලැබී ඇති බවයි.

වසීම් තාජුදින් මරණයට පත්වීමට පෙර පහර දීමට ලක්ව ඉළ ඇට බිදිම් වලටද භාජනය වී ඇති බව අධිකරණ වෛද්‍ය වාර්තා මගින්ද තහවුරු වී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.