ශ‍්‍රී.ල.නි.ප. පාවා දෙන්න එපා - මහින්ද

Image copyright Rahul Samantha Hettiarachchi

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය නිකුත් කළ විශේෂ ප‍්‍රකාශය ගැන කණගාටු වන බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි

නමුත් එතුමිය 2005, 2010 සහ 2015 සියලූම ජනාධිපතිවරණවල දී දැරුවේ එවැනිම ස්ථාවරයක් නිසා එම ප්‍රකාශය ගැන එතරම් මවිත වන්නේ නැති බවත් නිවේදනය සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් හිටපු නායිකාව වන එතුමිය එම ලිපිය ලියා තිබුණේ තමා අදටත් අනුශාසකත්වය දරණ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා සන්ධානයට එරෙහිව ගොස් එක්සත් ජාතික පක්‍ෂයට වැඩ කිරීම සාධාරණීකරණය කිරීමට බව නිවේදනයේ දැක්වෙයි.

“පක්‍ෂය ආරක්‍ෂා කිරීමට වඩා රට හැදීම වැදගත්” බව එතුමිය කියන්නේ ඒ අරමුණෙන් විය යුතු බව සඳහන් කරන එම නිවේදනය , මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා සමඟ ඇති පෞද්ගලික විරසකයක් නිසා ශ‍්‍රී.ල.නි.ප.ය හා සන්ධානය පාවා දීම නොකල යුතු බව ප්‍රකාශ කරයි.

“රාජපක්‍ෂ පාලනයේ ‘දරුණු මර්ධනයට හා හිංසනයට’ විරුද්ධව ඊනියා ජනවාරි 08 ‘විප්ලවය’ රැක ගැනීමට අවශ්‍ය යැයි එතුමිය කියයි. දරුණු මර්දනකාරී නායකයන් වටා මහජනතාව හා දේශපාලන පක්‍ෂ රොක් වන්නේ නැත. රාජපක්‍ෂ මහතා වටා අද මහජනතාව හා දේශපාලන පක්‍ෂ රොක්වී සිටින්නේ එතුමා එවැනි පාලනයක් ගෙන නොගිය නිසාය,”යනුවෙන් එහි සඳහන් වන්නේය.

මහින්ද රාජපක්‍ෂ 2005 බලයට පත්වූ පසු පැවැත්වූ සියලූම මැතිවරණ ප්‍රචණ්ඩත්වයෙන් තොර සාධාරණ ඒවා වූ බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර