ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යහපාලනය පොරොන්දු කඩ කළා -රතුපස්වල ජනතාව

රතුපස්වල ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට සහන ලබා දෙන බවට වත්මන් රජය පොරොන්දු වුනු නමුත් එය ඉටු නොකළ බව රතුපස්වල ජනතාව හා සිවිල් සංවිධාන ක්‍රියාධරයෝ පවසති.

දැනට වසා දමා තිබෙන, වෙනින් ග්‍රොස් කර්මාන්ත ශාලාව ඉදිරිපිට රැස්වූ රතුපස්වල ජනතාව පෙත්සමක් අත්සන් කළේ ජනාධිපතිවරයාට භාර දීම සදහායි.

මෙම ප්‍රහාරයේ දී වෙඩි වැදී මිය ගිය අයට සහ තුවාල ලබා ආබාධිතව සිටින අයට වන්දි ලබා දෙන ලෙසත් මොවුන් වත්මන් රජයට බල කර සිටින බවයි විරෝධතාව වාර්තා කිරීමට ගිය ප්‍රසාද් පුර්නිමාල් ජයමාන්න පවසන්නේ.

ඔවුන් මෙම විරෝධතාව දියත් කළේ ජලය ඉල්ලා හඬ නැගු රතුපස්වල ජනතාවට වෙඩි ප්‍රහාරයක් එල්ල වී වසර දෙකක් පිරීම නිමිත්තෙන්.

'තවමත් ජලය නැහැ'

Image caption වසර දෙකකට පෙර උද්ඝෝෂණයේ යෙදුන ජනතාවට හමුදාව වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව තුන් දෙනෙක්

ප්‍රහාරය සිදු වී වසර දෙකක් ගත වී ඇති නමුත් ඇතැම් ප්‍රදේශවාසීන්ට තවමත් පානීය ජලය ලැබී නැති බවද ඔවුහු පවසති.

වත්මන් අගමැතිවරයා සහ තවත් ඇමතිවරුන් රතුපස්වල ජනතාවට සාධාරණය ඉටු කරන බවට පොරොන්දු වූ නමුත් යහපාලනය යටතේ එය ඉටු නොවූ බවට ක්‍රියාධාරයෝ චෝදනා කරති.

රතුපස්වල ජනතාව පවසන්නේ වත්මන් ජනාධිපතිවරයාගෙන් සාධාරණයක් බලාපොරොත්තුවෙන් මෙම පෙත්සම අත්සන් කරන බවයි.

හේලීස් ව්‍යාපාර සමූහයේ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් ලිමිටඩ් අත් වැසුම් කම්හලින් පිට කෙරෙන අපද්‍රව්‍ය මගින් පානීය ජලයට විෂ රසායන එකතු වන බව පවසමින් වසර දෙකකට පෙර උද්ඝෝෂණයේ යෙදුන ජනතාවට හමුදාව වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව තුන් දෙනෙක්.

වැලිවේරිය හමුදා ප්‍රහාරය දේශීය මෙන් ම විදේශීය මානව හිමිකම් සංවිධාන හා ආගමික ආයතන වල දැඩි විවේචනයට ලක් විය.