ජනපති ආරක්‍ෂාව විශේෂ කාර්ය බලකායට

ජනාධිපති ආරක්ෂක අංශයේ රාජකාරි කටයුතු පොලිස් විශේෂ කාර්ය බලකායට පැවරීම දැනටමත් ආරම්භ කර ඇති බව පොලිස් ප්‍රකාශක පවසයි.

කෙසේ නමුත් මෙය එකවරම සිදු නොවන අතර එය පියවරෙන් පියවර සිදු වන්නක් බවයි සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර බීබීසීයට කියා සිටියේ.

කාලයක් තිස්සේ එකම ස්ථානයක රාජකාරි කරන පොලිස් නිලධාරීනට ස්ථාන මාරු ලබා දීම පොලිසියේ සිද්ධාන්තයක් බවයි මීට හේතු දක්වමින් ඔහු කියා සිටියේ.

චෝදනා එල්ල වීම?

පසුගිය පාලන සමයේ සිදු වූ ඇතැම් ඝාතන හෝ පහර දීම්වලට සම්බන්ධ බවට ජනාධිපති ආරක්ෂක අංශයට චෝදනා එල්ල වීම මීට හේතුවක් නොවේදැයි බීබීසීයේ සරෝජ් පතිරණ ප්‍රශ්න කළ විට, පොලිස් ප්‍රකාශක කියා සිටියේ මෙම වෙනස සඳහා ‘නොයෙකුත් කරුණු කාරණා සහ සිද්ධාන්ත’ බලපා ඇති බවයි.

නමුත් මේ පිළිබඳව ඊයේ පළ වී තිබු මාධ්‍ය වාර්තා ගැන ජෝන් අමරතුංග අමාත්‍යවරයාගෙන් විමසු විට ඔහු කියා සිටියේ ජනාධිපති ආරක්ෂක අංශය විසුරුවා නොහරින බවයි.

කෙසේ නමුත් ජනාධිපති ආරක්ෂක අංශයේ කටයුතු වලට තමා ‘ඇඟිලි නොගසන’ බවත් එය සම්පුර්ණයෙන් ම ජනාධිපතිවරයාගේ අණසක මත ක්‍රියාත්මක වන බවත් ජෝන් අමරතුංග ඇමතිවරයා පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර