අළුත් ව්‍යවස්ථාවක් ඇති කළ හැකිද? ප්‍රශ්ණ පහක්

අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් මේ වන විට පොරොන්දු වී සිටිති.

අනෙක් අතට මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ සමාජ බලපෑම් කණ්ඩායම් රැසක්ම නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටිති.

මේ තත්වය හමුවේ මීළඟ පාර්ලිමේන්තුව තුළ අළුත් ව්‍යවස්ථාවක් සඳහා කෙරෙන වාද විවාද වලට වැදගත් තැනක් හිමිවෙන බවට නිගමනනය කිරීම අසීරු නොවේ.

නව ව්‍යවස්ථා කතිකාවත තුළ මතු වෙන ප්‍රධාන කරුණු පහක් පිළිබඳව කෙරෙන විමසුමකි මේ.

අළුත් ව්‍යවස්ථාවක් කුමකටද?

Image copyright EPA

රටක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යනු රටක් පාලන කරනු ලබන ප්‍රධාන සිද්ධාන්ත මාලාවයි. මෙම සිද්ධාන්ත සම්බන්ධයෙන් මුලික ගැටළු කීපයක් ඇති බවත් ඒවා නිවැරදි කරගත යුතුව ඇති බවටත් පොදු පිළිගැනීමක් වර්ධනය වෙමින් පවතින අවස්ථාවකයි රනිල් වික්‍රමසිංහ මෙන්ම මහින්ද රාජපක්ෂත් අළුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කර සිටින්නේ.

අළුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ආමන්ත්‍රණය කෙරෙන තේමා හෝ සිදු කෙරෙන වෙනස්කම් පිළිබඳව රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද රාජපක්ෂ මේ වන විට විස්තරාත්මකව තම ස්ථාවරය හෙළිදරව් කොට නැතත් මාධ්‍යයට මේ පිළිබඳව සිදුකොට ඇති ප්‍රකාශ සහ ප්‍රතිපත්ති ප්‍රකාශන වලට ඇතුලත් කරුණු අනුසාරයෙන් යෝජිත වෙනස්කම් වල දිශානතිය පිළිබඳව යම් වැටහීමක් ලබා ගත හැකිය.

මහින්ද රාජපක්ෂ තම ප්‍රතිපත්තිය ප්‍රකාශනය එළි දක්වමින් කියා සිටියේ බලයට පත්වී මාස හයක කාලයක් ඇතුලත පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කර ගනිමින් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා බවයි.

මැතිවරණ ක්‍රමය වෙනස් කරමින් පොදු ජන නියෝජනයට පාලන තන්ත්‍රය තුල වැඩි ඉඩක් ලැබෙන වෙනස්කම් වලට ඉඩ දීම සඳහා තමන් අළුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බව මහින්ද රාජපක්ෂ කියා සිටියේ තම ප්‍රතිත්පත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

රනිල් වික්‍රමසිංහ පවසන පරිදි ව්‍යවස්ථාව දිගින් දිගට සංශෝධනය කිරීමෙන් ව්‍යාකුල තත්වයක් ඇතිවෙන හෙයින් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම කාලෝචිතය. ඔහුගේ තර්කය වන්නේ පවතින ව්‍යවස්ථාව විධායක ජනාධිපති ක්‍රමය කේන්ද්‍රගත කරගෙන නිර්මාණය වී ඇති හෙයින් පාර්ලිමේන්තුවට වැඩි බලතල ලබාදෙන ක්‍රමයක් ස්ථාපිත කර ගැනීම සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගත යුතුව ඇති බවයි.

යහ පාලනය මුලික අයිතිවාසිකමක් සේ පිළිගැනෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බවයි වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ.

අළුත් ව්‍යවස්ථාව යථාර්තයක් බවට පත් කර ගත හැකිද?

අළුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ලබා ගත යුතුව ඇත.

එක් පිළකට තුනෙන් දෙකක බලයක් ලබා ගත හැකි වුවහොත් නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම එතරම් දුෂ්කර කරුණක් නොවනු ඇත.

අළුතින් පත් වෙන ආණ්ඩුවකට පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කර ගැනීම, අධිකරණය සම්බන්ධයෙන් කටයුතු කිරීම ,විධායක ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් ගනුදෙනු කරන ආකාරය පිළිබඳව මතුවෙන ගැටළු නිරාකරණය කර ගැනීමේ මගක් ලෙස ව්‍යවස්ථා සංශෝධනයට යොමු විය හැකිය.

අළුත් ව්‍යවස්ථාවකට ඇති අභියෝග මොනවාද?

කිසිදු පිළකට තුනෙන් දෙකේ බහුතර බලයක් ලබාගත නොහැකි තත්වයක්ඇතිවීමේ වැඩි ඉඩක් ඇති බව ඇතැම් දේශපාලන විචාරකයින් පෙන්වාදෙති.

මේ තත්වය හමුවේ පවතින ව්‍යවස්ථාව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යමින් පොරොන්දු වූ පරිදි ව්‍යවස්ථාව වෙනස් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම අලුත් ආණ්ඩුවට ගත හැකි එක ක්‍රියා මාර්ගයකි.

දෙවැන්න නම් බහුතරය ලබාගැනීම සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් පිරිසක ගේ සහයෝගය ලබා ගැනීමයි.මෙම සහයෝගය විපක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබාදීම වැනි ක්‍රියා මාර්ග වලින් කෙරෙන්නේද එසේත් නැතිනම් ඔවුන්ව මතවාදීව දිනාගැනීම තුලින් කෙරන්නේද යන්න ඒ අවස්ථාව අනුව විසඳීමට ඉඩ තිබේ.

තුන්වැන්න නම් කෙටුම්පතේ කරුණු විචාරාත්මක සහ තර්කානුකුල විවාදයකට ලක් කොට සම්මුතිකවාදීව නව ව්‍යවස්ථා සම්මත කර ගැනීමයි.මේ සදහා අළුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අවශ්‍ය විය හැකි බව විචාරකයින් පෙන්වා දෙති.

වාර්ගික අපේක්ෂා සහ අළුත් ව්‍යවස්ථාව අතර ගැටුමක් ඇතිවේද?

ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන සිදුවීම් සහ ප්‍රවණතා දෙස බල විට ජනවර්ග අතරේ තිබෙන බෙදීම්වල බලපෑම දක්නට ලැබෙන අතර අළුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමෙදීත් මෙම බෙදීම් පිළිබඳව කරුණු ඉස්මතුවීමට ඉඩ ඇත.

මෙහිදී සිංහල,දෙමළ, මුස්ලිම් ,බර්ගර්,මැලේ ජාතිකයින් ලෙස සිතනවාට වඩා ‘ශ්‍රී ලාංකික’ ජාතියක් ලෙස සිතා

කතිකාවක් ඇති කර ගැනීමට හැකිවේ නම් එය අළුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට තිබෙන ඉඩ කඩ පුළුල් කිරීමට තුඩු දෙන බව කෙනෙකුට තර්ක කල හැකිය.කෙසේ වෙතත් මෙය පරමාදර්ශී තත්වයකි.

ප්‍රායෝගිකව උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම ,බලය විමධ්‍යගත කරන ඒකකය,පළාත් සභා වලට ලබා දෙන බලතල ,ආගම් වෙනස් කිරීමේ සිට ජාතික ගීතය ගයනා කරන භාෂාව දක්වා වාර්ගික අනන්‍යතාව සහ දැඩිව බැඳුනු කරුණු රැසක් අළුත් ව්‍යවස්ථාව පිලිබඳව කෙරෙන විවාදය තුළ මතු විය හැකිය.

මේ විවාදය කිසිසේත්ම පහසු එකක් නොවීමට ඉඩ ඇත.

අළුත් ව්‍යවස්ථාවක් තුළින් වාර්ගික ගැටළුව විසඳා ගත හැකිද?

නව ව්‍යවස්ථාවක් පිළිබඳව කතිකාවතක් ඇතිවීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ වාර්ගික ගැටළුවයි.මේ තාක් ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථා සංශෝධන වලින් වාර්ගික ගැටළුවට පිළියම් ලැබී නැති බව සුළුතර ජන කොටස් නියෝජනය කරන දේශපාලන පක්ෂ කියා සිටිති.

අනෙක් අතට සියළු ජනවර්ග වලට එකම රටක් තුල සහ ජීවනයෙන් ජීවත් වීම සහතික කිරීමට තරම් දැනට පවතින ව්‍යවස්ථා රාමුව ප්‍රමාණවත්ද නැද්ද යන්න පිළිබඳව විවාද තිබුනත් හුදෙක් ව්‍යවස්ථාව වෙනස් කළ පමණින් වාර්ගික ගැටළු ක්ෂණයකින් අතුරුදහන් වෙන් බවට වැඩි දෙනෙක් විශ්වාශ කරන බවක් පෙනෙන්නට නැත.

අළුත් ව්‍යවස්ථාවක් තුළින් වාර්ගික ගැටළුව විසඳා ගැනීමට ලැබෙන ඉඩ කඩ තීරණය කිරීමේදී අළුත් ව්‍යවස්ථාවට ඇතුල් කෙරෙන වගන්ති මෙන්ම එම වගන්ති ක්‍රියාවට නැවීමට සිදුවෙන දේශපාලන පරිසරයත් තීරණාත්මක ලෙස බලපෑමට ඉඩ තිබේ.