මෛත්‍රීගේ පොලොන්නරුව කොළ ද? නිල් ද?

Image copyright AFP

නිල් පැහැය නියෝජනය කරන ජනාධිපතිවරයෙකු බිහි වූ පොලොන්නරුව දිස්ත්‍රික්කය පුරා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ කොළ පාටින් යුත් පක්‍ෂ කාර්යාලයි.

මේ අතර තුර, කිසිදු ලෙසකින් තම පක්ෂය හැර නොයන බවට ප්‍රතිඥා දී තිබූ එක්සත් ජාතික පක්ෂයේ සිටි කින්ග්ස් නෙල්සන් මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ රනිල් වික්‍රමසිංහ සමඟ ජනතාවට සේවය කිරීමේ හැකියාවක් නැති බව පවසමින්.

කෙසේ නමුත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව මෙවර මහ මැතිවරණයේදි තම තමන්ගේ පක්ෂ දිනවීමට දැඩිව ක්‍රියා කරන බව පෙනෙන්නට තිබේ.

Image copyright AFP

එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් නායක ලෙස, හිටපු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පත් කර තිබේ.

හෙතෙම ඩී එස් සේනානායක සහ ඩඩ්ලි සේනානයකවරුන්ගේ මුණුපුරෙකි.

නව අපේක්ෂයෙකු ලෙස නාලක කොළොන්න තරඟ කරන අතර ඔහු පොළොන්නරුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කණ්ඩායම් නායක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණ සිංහ කටයුතු කරයි.

ඔහු පසුගිය මැතිවරණයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම මනාප දිනා ගත් අපේක්ෂකයා විය.

Image copyright unp

අප කල විමසීම් වලදී බහුතරයක් ගොවීන් මෙන්ම අනෙකුත් සාමාන්‍ය වැසියන් කියා සිටියේ මෙවර මැතිවරණයෙන් තමන් අපේක්ෂා කරන්නේ දින සීය තුළ ඉටු නොකළ සියලු පොරොන්දු ඉතා ඉක්මනින් ඉටු වනු දැකීමයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නාම යෝජනාව අත්සන් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශයක් සිදු කළේ බොහෝ ප්‍රමාද වී බවද ඇතැම් පිරිස් මැසිවිලි නැගූහ.

මේ අතරතුර මෙවර මහ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරන බවත් ඇතැම් පිරිස් අප සමඟ කියා සිටියහ.

පසුගිය පස් වෙනි මහින්ද රාජපක්ෂ පොළොන්නරුවට පැමිණි අවස්ථාවේ ඉතා විශාල ජනතාවක් එම රැස්වීමට පැමිණ තිබුණ අයුරු ද අපට දකින්නට ලැබුණි.

Image copyright bbc

''අපිට කෘෂිකර්මය සඳහා ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ වෙනුවෙනුයි අපි මේ වතාවෙ අපේ ඡන්දය පාවිච්චි කරන්නෙ මේ වෙන කොට අපි එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ට අපේ ප්‍රතිපත්ති මාලාව භාර දීල තියෙනව. කෘෂි රසායන පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීමේ වැඩපිළිවෙළකට අපි යන්න ඕන.'' ගොවි ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති එම් කේ ජයතිස්ස පැවසීය.

නමුත් එක්සත් ජාතික පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් නායක වසන්ත සේනානායක පවසන්නේ මෙවැනි අදහසක්.

'' මම ප්‍රතිපත්තියක් විදියට ජනතාවට පොරොන්දු දෙන්නෙ නෑ මගේ සැලැස්ම ඔවුන්ට ඉදිරිපත් කරනව. එපමණයි. ඒ අය ඒක විශ්වාස කරනව කියා මම හිතනව.”

“වත්මන් ජනාධිපතිවරයා පිළිබඳව එක්තරා මොහොතක අපි කලකිරීමකට පත් උනා. එතුමාගේ ස්ථාවර කියන්න ප්‍රමාද වීම ගැන. ඒ හේතුව නිසා ජනතාව විවිධ ආකල්ප ගොඩ නගා ගත්ත. නමුත් මේ වෙන කොට ජනාධිපතිතුමා දේශපාලනයෙන් ඔබ්බට ගිහින් එහාටත් මෙහාටත් නැතුව බොහොම නිවැරදිව ඉන්නව.'' ඔහු තවදුරටත් පැවසීය.

මෙවර මැතිවරණයට කාන්තා පාර්ශවයේ වැඩි නියෝජනයක් නැතත්, බොහෝ රැස්වීම් භූමි වල වැඩිපුර කාන්තා දායකත්වය දැකිය හැකියි.

කෙසේ වෙතත් ඉතා සුළු ප්‍රචණ්ඩ ක්‍රියා ප්‍රමාණයක් හැරුනු කොට මේ තාක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි නොලැබුණ බවයි පොලිසිය පවසන්නේ.