කොටහේන ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු දැලේ

කොටහේන වෙඩි තැබීමේ සිද්ධියට ඍජුවම සම්බන්ධ සැකකරුවකු අත් අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඔහු ඇතුළුව මේ වන විට පස් දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.

වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි මෝටර් රථය ද සොයා ගෙන ඇති බවත් මෝටර් රථය ලබා ගෙන ඇති කුලී රථ සමාගමෙන් එය කුලියට ගත සැකකරුවන් කිහිප දෙනකුද අත් අඩංගුවට ගෙන සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

මහජන සහාය

තවත් ප්‍රධාන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම ඊළඟ ඉලක්කය බව පැවසූ සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ඔහු අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය පතන බවත් ප්‍රකාශ කළේය.

සමීර රසාංග පතිරණ නොහොත් ‘සුදූ’ නමැති සැකකරු දෙමටගොඩ ශ්‍රී ධර්මාරාම පාර, හා අංගොඩ හිඹුටාන පාර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයකු බවට හඳුනාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

ප්‍රගීත්පරීක්ෂණ

ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා ගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සැකකරුවන්ගෙන් ලබා ගත් තොරතුරු අනාවරණය නොකරන බවට ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ අඟහරුවාදා චෝදනා කළාය.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ විමර්ශන තොරතුරු සියල්ල අධිකරණයට වාර්තා කිරීමට පොලීසිය බැදී සිටින බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යුද හමුදාවේ කිහිප දෙනකුගේ ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඉදිරි දින කිහිපය තුළදී ඒවා ලබා ගැනීමට පියවර ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේ යුද හමුදාව විසින් තවත් පුද්ගලයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුව ඇති බව සන්ධ්‍යා එක්නැලිගොඩ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පිළිතුරු දෙමින්.