මෛත්‍රි නව ලේකම්වරුන් පත් කළේ ඇයි?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන තමන්ගේ සභාපති බලතල භාවිතා කොට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරු අළුතින් පත් කිරීම තුළින් තවත් දේශපාලන පෙරළි රැසක් ඇති වීමට මග පාදයි.

Image caption අනුර ප්‍රියදර්ශන යාපා සහ සුසිල් ප්‍රේම ජයන්ත

සන්ධානයේ වැඩබලන ලේකම් ලෙස පත් කෙරුණු මහාචාර්ය විශ්වා වර්ණපාලත් ශ්‍රීලනිප ලේකම් ලෙස පත්කෙරුණු දුමින්ද දිසානායකත් ඔවුන්ගේ කටයුතු හිටපු ලේකම්වරුන්ගේ අවහිරයකින් තොරව පවත්වාගෙන යාම සඳහා කොළඹ දිසා අධිකරණයේ අතුරු වාරණයක් ලබා ගෙන ඇතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා සංදේශයට කියා සිටියේ තමන් වෙත මෙතෙක් එවැනි නියෝගයක් ලැබී නැති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින් නැගෙන විරෝධය

Image caption ඩිලාන් පෙරේරා

“ තවමත් එක්සත් ජනතා සන්ධාන ලේකම් වරයා සුසිල් ප්‍රේමජයන්ත ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා” යැයි ඩිලාන් පෙරේරා පැවසීය.

මේ ප්‍රකාශය තුළින් ගම්‍ය වන්නේ නව පත් කිරීම් වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින් නැගෙන විරෝධයයි.

අනෙක් අතට කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා ලබන 28 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම නිකුත් කොට තිබේ.ලබන 24 වෙනිදා දක්වා උසාවි නිවාඩු කාලයයි.මේ අනුව ලබන 28 වෙනිදාට පෙර සුසිල් ප්‍රේම ජයන්ත හෝ අනුර ප්‍රියදර්ශන යාපාට උසාවිය හමුවේ කරුණු දැක්වීමට නොහැකි වෙන අසීරු තත්වයක් උද්ගත විය හැකිය.මේ අතරවාරේ අගෝස්තු 17 වෙනිදා මැතිවරණය නිමාවීමත් සමඟම පක්ෂ මහ ලේකම් වරුන්ට වගකීම් පැවරෙන තීරණාත්මක කාලයක් උදා වෙයි.

ජාතික ලැයිස්තුව

ප්‍රංශ පුවත් සේවාවේ කොළඹ කාර්යාංශ ප්‍රධානි අමල් ජයසිංහ පවසන පරිදි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරෙන මන්ත්‍රීවරුන් ගේ නම් මැතිවරණ කොමසාරිස් වරයාට දැන්වීමේ අවස්ථාව පක්ෂ ලේකම්වරයාට හිමිවෙන අතර මේ මහ ලේකම් වෙනසින් තමන්ට අවශ්‍ය මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමේ ඉඩ කඩ ජනාධිපතිවරයාට හිමි වෙයි.

Image copyright Victor Ivan
Image caption වික්ටර් අයිවන්

අනෙක් අතට නව පත් කිරීම් ලැබූ මහ ලේකම්වරුන් හරහා අළුත් පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ගේ වැඩකටයුතු පාලනය කිරීමේ බලය ජනාධිපති වරයාට හිමිවෙන් බව අමල් ජයසිංහ වැඩි දුරටත් පෙන්වා දෙයි.මන්ත්‍රීවරුන් ගේ විනය පරීක්ෂණ පැවැත්වීමේ කටයුතු මෙන්ම මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීම ආදී කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා හා ගනුදෙනු කරන්නේ පක්ෂ ලේකම්වරයාය.

සාධාරණත්වය පිළිබඳව ගැටළුවක්

මේ පිළිබඳව සංදේශයට කරුණු දැක්වූ රාවය උපදේශක කර්තෘ වික්ටර් අයිවන් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේනට පක්ෂ ලේකම්වරයා අස් කිරීමේ බලතල තිබුනද මැතිවරණ දිනය ආසන්නයේ දී එසේ කිරීමේදී සාධාරණත්වය පිළිබඳව ගැටළුවක් මතුවෙන බවයි.

තමන්ගේ දේශපාලන සගයින් වූ සුසිල් ප්‍රේම ජයන්ත සහ අනුර ප්‍රියදර්ශන යාපා ඉවත් කොට මහාචාර්ය විශ්වා වර්ණපාල සහ දුමින්ද දිසානායක පත් කිරීමට බලපෑ හේතු පිළිබඳව කළ අදහස් විමසීමකදී නම සඳහන් කිරීමට අකමැති ජනාධිපතිවරයා ගේ මධ්‍ය ලේකම්වරයෙක් කිය සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන් නිවැරදි යැයි හිතන ගමන් මාර්ගය ඔස්සේ මෙහයවීම සඳහා මතුවෙන බාධක ඉවත් කර ගැනීමට නව පත් කිරීම් සිදු කරන්නට ඇති බවයි.