නව පාර්ලිමේන්තුව තැනීමට ජනතාව පෙළ ගැසෙති

2015 මහමැතිවරණයට අදාළ ජන්ද විමසීමේ කටයුතු රට පුරා ඉතා සාමකාමිව සිදු වන බව වාර්තා වෙයි.

අද දහවල් 12 වන විට දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය 50% දක්වා වූ බවයි වාර්තා වන්නේ.

ඡන්ද මධ්‍යස්ථාන දොළොස් දහස් තුන්සිය දාහතරක ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

සුළු සුළු සිද්ධීන් හැර සමස්තයක් ලෙස මැතිවරණය සාමකාමී බවයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ.

අගමැති රනිල් වික්‍රමසිංහ දහවල් 11ට පමණ කොළඹදී ඡන්දය ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වීරකැටියේදී අද උදෑසන 7.15 ට පමණ සිය ඡන්දය ප්‍රකාශ කරන බවට නිවේදනය කර තිබුනත් ඔහු ද ඡන්දය ප්‍රකාශ කළේ දහවල් 11 ට පමණ.

මේ අතර මැතිවරණ නිතිය දැඩි ලෙස පොලිසිය ක්‍රියාත්මක කරන ආකාරයක්ද දක්නට ලබුණි.

මාතර ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කිරීම ඡායාරූප ගත කිරීමට උත්සාහ කළ මාධ්‍යවේදීන් පොලිසිය මුදා හැරියේ දැඩි අවවාද කිරීම් වලින් ද අනතුරුවයි.

වයෝවෘද්ධ පුද්ගලයන් මෙන්ම විවාහක මනමාල මනාලියන් ද ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි සිටිනු දක්නට ලැබිණි.