ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ දහ තුනක් නෙරපයි

Image copyright AFP

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් 13 දෙනෙකු ඉවත් කර ඊට නව සාමාජිකයන් පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන පියවර ගනී.

පත් කළ නව සාමාජිකයන්ගේ නම් ලැයිස්තුව මැතිවරණ කොමසාරිස්වරයා වෙතට යවා ඇති බවද වාර්තා වෙයි.

මෙලෙස ඉවත් කළ මධ්‍යම කාරක සභිකයන් අතර හිටපු මහ ලේකම්වරුන් වන සුසිල් ප්‍රේමජයන්ත හා අනුර ප්‍රියදර්ශන යාපා ද සිටින බවයි සංදේශයට වාර්තා වෙන්නේ.

Image copyright SLFP

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව මධ්‍යම කාරක සභිකයන් පත් කිරීමෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවේ ද බලය තමන්ට ලබා ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ ගන්නා ආකාරයයි දක්නට ලැබෙන්නේ.

ජාතික ලැයිස්තුවෙන් පත් වන මන්ත්‍රීවරුන් ප්‍රකාශයට පත් කිරීමේ දී ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි එය සිදු කර ගැනීම සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහයෝගය තමා වෙත තබා ගැනීම මෙහි අරමුණ වී ඇති බවයි ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ.

අනෙක් අතට නව පත් කිරීම් ලැබූ මහ ලේකම්වරුන් හරහා අළුත් පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ගේ වැඩකටයුතු පාලනය කිරීමේ බලය ජනාධිපති වරයාට හිමි වෙයි.

මන්ත්‍රීවරුන් ගේ විනය පරීක්ෂණ පැවැත්වීමේ කටයුතු මෙන්ම මන්ත්‍රීවරුන් පක්ෂයෙන් නෙරපීම ආදී කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා හා ගනුදෙනු කරන්නේ පක්ෂ ලේකම්වරයායි.

එමෙන්ම මීළඟ අගමැතිවරයා නම් කිරීමේදී ද ජනාධිපතිවරයා තම පක්ෂය තුළ ශක්තිමත් වී සිටීම වැදගත් වනු ඇත.

කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට මහින්ද පිල සහ මෛත්‍රී පිල වශයෙන් දෙකඩ වී ඇති බවට මෙම තනතුරු වෙනසින් පවා තහවුරු වෙයි.