ජාතික ආණ්ඩුව:අපැහැදිලි තැන් පහක්

Image caption ජාතික ආණ්ඩුවේ නායකයන්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එක්සත් ජාතික පක්ෂය සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට තීන්දු කිරීමත් සමඟ ජාතික ආණ්ඩු සංකල්පය කෙරෙහි සමාජයේ අවධානය යොමු වෙමින් පවතී.

දේශපාලන සමාජයක ජාතික ආණ්ඩුවක් යනු සියලු ප්‍රධාන දේශපාලන පක්ෂ හෝ ඉන් කොටසක සහයෝගය ලබන පාලන තන්ත්‍රයක් වෙයි.

ලෝක ඉතිහාසයේ මෙවැනි ජාතික ආණ්ඩු පිළිබඳ ආදර්ශයන් ඇති අතර දෙවන ලෝක මහා සංග්‍රාම අවධියේ බ්‍රිතාන්‍යය පාලනය කෙරුණ ‘භාරකාර’ පාලනය ‘ජාතික’ ආණ්ඩුවක් හැටියට ද හඳුන්වනු ලැබුණි.

එවැනි පාලන ව්‍යුහයක ලක්ෂණය වන්නේ දේශපාලන සමාජයක පොදු අරමුණු වෙනුවෙන් ප්‍රධාන දහරාවේ දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයන් සමූහයක් වශයෙන් ක්‍රියාත්මක වීමයි.

Image copyright president media

මෙවැනි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ගනු ලබන උත්සාහයේ දී ශ්‍රී ලංකාවේ නව පාලකයන් මුහුණ දෙන ගැටළු හඳුනා ගැනීම කාලෝචිත වෙයි.

ශ්‍රීලනිප පිල් බෙදීම

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් පිහිටවනු ලබන ජාතික ආණ්ඩුවකට එක් වීමට නිල මට්ටමින් තීන්දු කරනු ලැබ ඇතත් එම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය දිනා ගැනීම තවමත් සහතික වී නොමැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස් කොට සාකච්ඡා කරද්දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම පක්ෂයේ තමන්ට පක්ෂපාත මන්ත්‍රීවරුන් වෙනම රැස් කළ අතර එක්සත් ජනතා සන්ධානයේ සාමාජික මන්ත්‍රීවරුන් හැටකට අධික පිරිසක් ඊට සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

එම සාකච්ඡාවට සහභාගී වූ රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී රන්ජිත් සොයිසා මාධ්‍යයට කියා සිටියේ, සිය පක්ෂය කවර තීරණයක් ගත්තත් තමා විපක්ෂයේ මන්ත්‍රීවරයකු හැටියට පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා බවයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනවාරි අට වෙනි දින පදවියට පත් වීමෙන් අනතුරුව ක්‍රියාත්මක වූ දින සීයේ පාලනය තුලත් දේශපාලන පක්ෂ රාශියක් සංකෙන්ද්‍රගතව පැවති නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමස්ත සහයෝගය ඊට නොලැබුණි.

මහින්ද සාධකය

Image caption සුළු ජන සහයෝගය

පසුගිය ජනාධිපතිවරණයේ මෙන්ම මහමැතිවරණයේත් පොදු අත්දැකීම වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අති බහුතරයේ සහයෝගය පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ කෙරෙහි වන බවයි.

ජනාධිපතිවරනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී මෛත්‍රීපාල සිරිසේන සමඟ එකතු වූ ජ්‍යෙෂ්ඨ පාක්ෂිකයන්ගේ සංඛ්‍යාව ඇඟිලිවලින් ගණන් කළ හැකි මට්ටමේ සුළුතරයක් වූ අතර පක්ෂය පාලනය කිරීමේ රැහැන් පට තවමත් තමන් අත නැතත් සාමාජිකත්වය කෙරේ ඔහුට ඇති කළ හැකි බලපෑම අඩුවෙන් තක්සේරු කිරීම දේශපාලන යතාර්ථය නොතකා හැරීමක් වනු ඇත.

ප්‍රතිපත්තිමය වශයෙන් වෙනසක් නැතත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හැට වසරකට අධික දේශ පාලන ඉතිහාසයේ තම ප්‍රධාන ප්‍රතිවාදියා හැටියට සලකන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

සුළු ජාතීන්ගේ අරමුණු

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති පදවිය දිනා ගැනීමේ ප්‍රබල බලවේගයක් වුනේ සුළු ජාතික ඡන්ද වන අතර මෙම මහමැතිවරණයේදීත් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයට ශ්‍රී ලංකාවේ සුළු ජන සහයෝගය තීරණාත්මක විය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයන්ගෙන් ඇතැමෙක් තරඟ වැදුණේ අලියා ලකුණිනි.

Image caption ආණ්ඩුවට සහාය දෙන මුස්ලිම් නායකයෝ

ඒ හැරුණ විට දෙමළ ජාතික සන්ධානයත් දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ පාලනයට සහයෝගය පිරිනමා ඇත.

එහෙත් එම ශුභවාදී ආරම්භය විරසක භාවයකින් තොරව දිගටම පවත්වා ගනු ලැබීම රඳා පවතින්නේ සුළු ජාතික දේශපාලන පක්ෂ මගින් ඉදිරිපත් කරන ඉල්ලීම් වල ස්වභාවය අනුවයි.

දෙමළ ජාතික සන්ධානයේ 2015 මැතිවරණ ප්‍රකාශනය මගින් ෆෙඩරල් රාජ්‍ය ආකෘතිය යලි මතු කරනු ලැබ ඇති අතර එය දකුණේ සිංහල දේශපාලන පක්ෂ කතා කිරීමටත් අකමැති මාතෘකාවකි.

සුළු ජාතික දේශපාලන පක්ෂ වල සහයෝගයෙන් තොරව එක්සත් ජාතික පක්ෂයට සිය පාර්ලිමේන්තු බලය පවත්වා ගැනීම සඳහා තවත් ඡන්ද දහයක් ප්‍රමාණවත් වන අතර පිල් මාරු කිරීමට සූදානම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික මහජන නියෝජිතයන්ගේ සංඛ්‍යාව ඊට වැඩි බවයි පෙනී යන්නේ.

ආර්ථික විසංවාදය

පිහිටවනු ලබන අභිනව ‘ජාතික ආණ්ඩුවක්’ දේශපාලන තලයේ මුහුණ දෙන අභියෝගයට වඩා පෙරට යාම අතින් එය ගැටලුකාරී තත්වයකට මුහුණ දෙනු ලබන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ අතිනි.

1977 දී බලයට පත් එක්සත් ජාතික පක්ෂය එවැනි ආර්ථික විසංවාදී තත්වයකට මුහුණ නොදීමට හේතුව එය තනි පක්ෂයක මහා බලයක් වීම වූ අතර ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුල ඔවුන්ට එදා විකල්ප අභියෝග නොවුනි.

එහෙත් එක්සත් ජාතික පක්ෂය නායකත්වය දෙන අනාගත ‘ජාතික ආණ්ඩුවක’ නියෝජනය වෙන හෙළ උරුමයේ පටන් සියලු කණ්ඩායම් විකල්ප යෝජනා ගෙන ඒම යනු ආර්ථික අංශයේ වියවුල දේශපාලන වශයෙන් අර්බුදකාරී තත්වයක් මතු කරනු ලැබීමයි.

Image caption ජවිපෙ ජාතික ආණ්ඩුවට එක් නොවෙයි

‘පෝර්ට් සිටි’ ව්‍යාපෘතියට අදාළ මතු පිළිවෙතේ පටන්ම එම වියවුල මතු වීම නොවැලක්විය හැකි වනු ඇත.

එජාප අභ්‍යන්තර අභියෝගය

අගෝස්තු විසි වෙනි දින කුරුණෑගල හෙට්ටිපොල උප නගරයට ඒකරාශී වූ දෙදහසක පමණ එක්සත් ජාතික පාක්ෂිකයන් කණ්ඩායමක් සිය නායකයන්ට කියා සිටියේ පරාජිතයන් ආණ්ඩුවට එකතු කර නොගන්නා ලෙසයි.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යෝජනා කරන පරිදි ‘සම්මුතික’ ආණ්ඩුවක් පිහිටුවීමට පියවර ගැනීමේ දී ඊට එකතු වෙන සෙසු දේශපාලන පක්ෂ වලටත් කැබිනට් ඇමති පදවිවලින් සංග්‍රහ කිරීමට සිදු වීම නොවැලක්විය හැකි වෙයි.

දීර්ඝ කාලයක් විපක්ෂයේ සිට දේශපාලන බලයේ මිහිර විඳීමට ලද අවස්ථාව යලි වෙනත් දේශපාලන පක්ෂ වලට පැවරීමට එරෙහිව හෙට්ටිපොල දියත් වූ ආකාරයේ විරෝධතා ව්‍යාපාර වෙනත් නගරවලටත් පැතිර ගියොත් එය ජාතික ආණ්ඩු අපේක්ෂාවන්ට අභියෝගයක් වනු ඇත.