ශ්‍රීලනිප ජාතික රජයකට සූදානම්

Image caption ජනාධිපතිවරයා මධ්‍යම කාරක සභාවට පැමිණි අවසථාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (20) රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා රජය සමඟ එක් වීමට තීන්දු කර ඇත.

ජාතික ආණ්ඩුවක් පිහිටුවනු ලැබීම ජනාධිපතිවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් මහමැතිවරණයට පෙර පටන්ම පෙරට තබා තිබුණ සැලැස්මයි. ඉහත කී තීන්දුව ගනු ලැබුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරියත් සහභාගී වූ අතර ඇය දශ වසරකට පසුවයි ඊට එක් වුණේ.

Image copyright bbc

ජාතික ආණ්ඩු සැලැස්ම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරියගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබ ඇති අතර නිමල් සිරිපාලද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, එස්.බී.දිසානායක, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ එම කමිටුවට ඇතුලත් වෙති.

අනු කමිටුවක්

දැනට ලැබෙමින් පවතින දේශපාලන ආරංචි මාර්ග අනුව ශ්‍රී ලංකා නිදහස් පක්සහය වසර දෙකක පමණ කාලයක් එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු දේශපාලන පක්ෂ සමඟ ජාතික ආණ්ඩුවක් හැටියට ක්‍රියාත්මක වෙන අතර එම කාලය තුළ ලබන ප්‍රගතිය අනුවයි,ඉදිරි ක්‍රියා මාර්ගයන් තීන්දු කරනු ලබන්නේ.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හෙට සිකුරාදා අගමැති පදවියේ දිවුරුම් දීමට නියමිත බව අගමැති මාධ්‍ය සම්බන්ධීකාරක සමන් අතාවුදහෙට්ටි බීබීසී සංදේශයට ප්‍රකාශ කළේය.

නව කැබිනට් මණ්ඩලය ඉන් අනතුරුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.

හෙට්ටිපොල විරෝධතා

මේ අතර අද (20) කුරුණෑගල හෙට්ටිපොල නගරයට රැස් වූ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් කණ්ඩායමක් පරාජිත එක්සත් ජනතා සන්ධානයේ දේශපාලනඥයන් ආණ්ඩුවට එකතු කර නොගන්නා ලෙස බල කරමින් උද්ඝෝෂණය කළහ.

භික්ෂූන් වහන්සේ සහ සෙසු ආගමික නායකයන් ද සහභාගී වූ එම විරෝධතා ව්‍යාපාරයට දෙදෙහසක පමණ කණ්ඩායමක් සහභාගී වෙමින් සිටි බවයි බීබීසී වාර්තාකරු ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න පවසන්නේ.

උද්ඝෝෂකයන් වයඹ මහ ඇමති දයාසිරි ජයසේකරට එරෙහිව විශේෂයෙන් ම හඬ නැගූ බවත් වාර්තා වෙයි.

එම උද්ඝෝෂණය පැවැත්වෙද්දී දැඩි පොලිස් ආරක්ෂක විධි විධාන යොදා තිබුණි.