රනිල් සිව්වැනි වරටත් අගමැති පදවියට

Image copyright

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දහසය වැනි අගමැතිවරයා ලෙස අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය.

රනිල් වික්‍රමසිංහ අගමැති පදවියට පත් සිව්වැනි අවස්ථාව මෙයයි.

විනාඩි දහයකට සීමා වූ දිවුරුම් දීමේ උත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම් සුසිල් ප්‍රේමජයන්තද සහභාගී වූහ.

දිව්රුම් දීමේ උළෙලෙහි දේශන කිසිවක් නොවූ අතර තේ පැන් සංග්‍රහයකින් උත්සවය අවසන් විය.

තේ පැන් සංග්‍රහයට ද සහභාගී වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උත්සවයෙන් පිටවී යන මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සමග ඉතා සුහඳව කතා කරමින් සිටින දක්නට ලැබුණි.

සම්මුතිවාදී ගිවිසුම

Image copyright
Image caption හිටපු ජනාධිපතිවරයාගෙන් ශුභ පැතුම්

‘සම්මුතිවාදී’ ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ‍අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමද එම උත්සවයේ දී සිදු කෙරිණ.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් කබීර් හෂීම් ගිවිසුමට අත්සන් කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක ඊට අත්සන් කළේය.

සම්මුතිවාදී ගිවිසුම ගැන අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් පැවසුවේ, රට වෙනුවෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වසර දෙකක කාලයක් සඳහා එක්ව වැඩ කිරීමට එකඟ වූ බවයි.