පුහුණුව අතරතුර බොඳ වූ කොරියා සිහිනය

Image copyright Rahul Samantha
Image caption 'උසස් පෙළ විභාගය සමත් වුනත් මගේ මල්ලිට උසස් අධ්‍යාපනය හදාරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ'

දකුණු කොරියාවේ රැකියාවට ගොස් අතමිට සරු කර ගැනීම ශ්‍රී ලංකාවේ ඇතැම් තරුණයන්ගේ සිහිනයක්.

ඒ සඳහා කොරියානු භාෂාව ඉගනීම අනිවාර්ය වන අතර අයදුම්කරුවන්ගේ ශාරීරික යෝග්‍යත්වය පරීක්ෂාවට ලක් වීමත් සිදු වේ.

කොරියානු භාෂා විභාග කඩයිම ජය ගත් අඟුණකොළපැලැස්සේ නුවන් දහනායක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශාරීරික යෝග්‍යත්වය පරික්ෂා කෙරෙන පුහුණුවට සහභාගී වූයේ කොරියානු සිහිනය ජය ගැනීමේ බලාපොරොත්තුවෙන්.

විසිතුන් හැවිරිදි නුවන් පසුගිය 20 වනදා ගෙදරින් පිටවන්නේ කොරියානු රැකියා සිහිනය ජය ගැනීමට තිබෙන අවසන් පරීක්ෂණයට සහභාගී වීමටයි.

පරීක්ෂණයට අවශ්‍ය දෑ සුදානම් කර ගත් ඔහු තම දෙමවුපියන්ට සමු දී ගෙදරින් පිට වූයේ වසර ගණනාවක් පුරා මහපොළව සමග පොරබදා තමා උස්මහත් කළ දෙමව්පියන් සහ ඥාතීන්ගේ ආශීර්වාද මධ්‍යයේයි.

Image copyright Rahul Samantha
Image caption 'කොහොම හරි මේ අහිංසක දුප්පත් පවුලක් තව අසරණ වුණා'

ගමන් මල්ල අතට ගත් නුවන් නිවසින් පිටව ගියේ තම ඥාති සොහොයුරා වූ අයේෂ් ගයාශාන් සමග.

'අවසන් ගමන'

'මගේ මල්ලි ඉගෙන ගත්තෙ අඟුණකොළපැලැස්ස මහානාග ජාතික පාසැලේ. එයා උසස් පෙළ කළේ වානිජ අංශයෙන් .උසස් පෙළ විභාගය සමත් වුනත් මගේ මල්ලිට උසස් අධ්‍යාපනය හදාරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඊට පස්සෙ එයා රැකියාවක් සොයා වෙහෙසුනා. ඒ අතර වාරයේ තමයි මගේ මල්ලි කොරියාවේ රැකියාවක් සඳහා ඉල්ලුම් කළේ' නුවන් දහනායකගේ සොහොයුරා පැවසීය.

'නුවන් මල්ලි පුහුණුව ලැබූ අතුරුගිරියේ පිහිටි කඳවුරෙන් ඥානසිරි කියල කෙනෙක් කථා කරල කිව්වා. නුවන්ට කලාන්තයක් හැදිල තියෙනවා අමාරුවක් නැහැ කියල කිව්වා .ගෙදරින් කවුරු හරි එන්න කියල එයා කිව්වා. ඊට පස්සෙ නුවන් මල්ලි සමග පුහුණුවට ගිය මගේ ඥාති සොහොයුරා රාත්‍රී දහයයි හතළිස් පහට විතර කෝල් කරල කිව්වා නුවන්ට අමාරුයි. ගෙදරින් තුන් හතර දෙනෙක් එන්න කියලා. ඊට පස්සෙ මගේ බාප්පයි පුංචි අම්මයි තවත් ඥාති සොහොයුරෙකුයි හෝමාගම රෝහලට යන්න පිටත් වුණා' නුවන්ගේ ඥාති සොහොයුරියක් කියා සිටියාය.

Image copyright Rahul Samantha
Image caption රුවන් සිය මිතුරන් සමග

පුහුණුව අතරතුර රෝගී වූ නුවන් මිය ගියේ පුහුණු නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් යැයි ඔහුගේ ඥාතීහු චෝදනා කරති.

‘කොහොම හරි මේ අහිංසක දුප්පත් පවුලක් තව අසරණ වුණා. නුවන් මල්ලි කොරියා යන්න සූදානම් වුණේ හිතකින් නෙමෙයි. එයාට රැකියාවක් හොයා ගන්න බැරි වුණු නිසා. තම පවුල ගොඩ ගන්න ඕන නිසා’ නුවන්ගේ ඥාති සොහොයුරිය වැඩි දුරටත් සඳහන් කළාය.

දැනට ආරම්භ කර ඇති පරීක්ෂණ හරහා ලැබෙන තොරතුරුවලට අනුව එම චෝදනා ප්‍රතික්ෂේප කිරීමට සිදු වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය පැවසුවේය.

'කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විවිධ තොරතුරු වාර්තා වෙනවා. මේ පුහුණු ලාභියාට අසාධාරණයක් සිද්ධ වුණා කියන එක ඉතා ඉක්මනින් රෝහල් ගත නොකිරීම හේතුවෙන්. මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කරන්න වහාම තීරණය කරලා තියනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශය' ප්‍රකාශකවරයා කියා සිටියේ සංදේශය කළ විමසීමකදීයි.