සංගක්කාර මහ කොමසාරිස් පදවිය භාර ගනීද?

ටෙස්ට් පිටියෙන් සමුගත් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරට බ්‍රිතානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර භාර ගන්නා මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ආරාධනාවක් ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සංගක්කාර කියා සිටියේ ‘මේ තොරතුර මාව පුදුමයට පත් කළා. මේ තනතුර භාර ගන්නවද කියලා මම හිතලා බලන්න ඕනේ. ඒ එක්කම මේ සම්බන්ධයෙන් ජනාධිපති තුමා එක්ක සාකච්ඡා කරන්න ඕනේ.’ යනුවෙනි.

පී සරවනමුත්තු ක්‍රීඩාංගනයේ පැවති අවසන් ටෙස්ට් තරඟයෙන් පසු පැවති මාධ්‍යහමුවක් ඇමතූ අවස්ථාවේදීයි කුමාර් සංගක්කාර මේ බව කියා සිටියේ.

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ක්‍රිකට් දිවියෙන් සමුගැනීම වෙනුවෙන් අද(24) පෙරවරුවේ කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවති උත්සව අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීම විශේෂයකි.

ජනාධිපතිවරයාට අමතරව අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් මෙන්ම මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් රැසක් ද සහභාගී විය.

කෙසේ වෙතත් පසුගියදා ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගනයේ දී බීබීසී සංදේශය වෙනුවෙන් උපාලි ගජනායක සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී කුමාර් සංගක්කාර කියා සිටියේ තමන් දේශපාලනයට පිවිසීමට බලාපොරොත්තුවක් නැති බවයි.