සම්මුතිවාදී ආණ්ඩුවේ පළමු ඇමතිවරු තිදෙනා

නව ආණ්ඩුවේ ඇමතිවරු තිදෙනෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිව්රුම් දෙති.

මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා ලෙසත්, ඩීඑම් ස්වාමිනාදන් පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා ලෙසත් විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

නව අමාත්‍යවරු තිදෙනාගේ දිව්රුම් දීම් සිදු වුණේ ඔවුන්ට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර සමුළු තුනකට සහභාගී වීමට නියමිතව ඇති හෙයිනි.

ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සමුළුවකට අමාත්‍ය මංගල සමරවීර සහභාගී වීමට නියමිත අතර ස්වාමිනාදන් අමාත්‍යවරයා සරණාගතයන් පිළිබඳ අන්තර්ජාතික සමුළුවකටද අමාත්‍ය විජේදාස රාජපක්ෂ අන්තර්ජාතික කම්කරු සංවිධානයේ රැස්වීමකටද සහභාගී වීමට නියමිතව ඇත.

නව අමාත්‍යවරුන්

විදේශ අමාත්‍යවරයා වශයෙන් පත් වූ මංගල සමරවීර සිය දේශපාලන දිවිය ආරම්භ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින්.

ඔහුගේ පියා වන මහානාම සමරවීර 1960 සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවේ අමාත්‍යවරයෙක්.

1964 දී ඔහුගේ මහානාම සමරවීර ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂයට එක් විය.

මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන අමාත්‍ය මංගල සමරවීර චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු ලෙස කටයුතු කළේය.

අනතුරුව 2005 වසරේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා බලයට ගෙන ඒම සඳහා ඔහු විසින් කරන ලද කාර්යය භාරය සුළු පටු නොවේ.

2007 වසරේදී එවකට ජනපති මහින්ද රාජපක්ෂ සමග ඇති වූ මතභේද හේතුවෙන් අමාත්‍ය ධුරයක් නොමැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මංගල පාර්ශවයට නායකත්වය ලබා දුන් සමරවීර අමාත්‍යවරයා පසුව එක්සත් ජාතික පක්ෂය හා එක් විය.

පසුගිය දින සියයේ ආණ්ඩුවේද විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ඔහු මෙවර මහ මැතිවරණයට තරඟ කොට ජය ලැබුවේ මනාප 96092ක් ලබා ගනිමින්.

අමාත්‍ය විජේදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිය දේශපාලනය ආරම්භ කළ අතර ඔහු මුල් වරට පාර්ලිමේන්තුවට පිවිසියේ 2004 වසරේදීයි.

2006 වසරේදී ‘ප්‍රතිපත්තිමය තීන්දුවක් මත’ සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ ඔහු එම වසරේදී කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් ද ක්‍රියා කළේය.

අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරු වලින් ඉවත් වීමටත් විජේදාස අමාත්‍යවරයා පියවර ගත්තේය.

ඔහුගේ ප්‍රධානත්වයෙන් 2007 වසරේදී පළමු කෝප් වාර්තාව ඉදිරිපත් කෙරුණු අතර එහි ඇතුළත් වූ දූෂණ සහ වංචා සම්බන්ධ තොරතුරු දැඩි මතභේදයට ලක් විය.

පසුව එක්සත් ජාතික පක්ෂය හා එක් වූ ඔහු මෙවර මහ මැතිවරණයට ඉදිරි වී නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් වුනේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින්.

ඔහු ලබා ගත් මනාප සංඛ්‍යාව 81758ක්.

පසුගිය දින සියයේ ආණ්ඩුව තුළත් ඔහුට හිමි වූයේ අධිකරණ කටයුතු අමාත්‍යාංශයයි.

පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් ඩී.එම් ස්වාමිනාදන් වෘත්තියෙන් නීතිඥවරයෙක්.

එමෙන්ම ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරියෙකි.

2010 වසරේ මහ මැතිවරණයෙන් පසු ස්වාමිනාදන් අමාත්‍යවරයා පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසියේ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින්.

පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ සහ හින්දු කටයුතු අමාත්‍යවරයා වශයෙන් පසුගිය දින සියයේ ආණ්ඩුවේද ඔහු කටයුතු කළේය.

ඩී.එම් ස්වාමිනාදන් අමාත්‍යවරයා මෙවර පාර්ලිමේන්තුවට පිවිසියේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුව නියෝජනය කරමින්.