ගෝඨාභය පැය හයක් කොමිසම ඉදිරියේ

Image caption ගෝඨාභය සහ හිටපු ජනාධිපතිවරයා යුද නිලධාරීන් හමු වූ මොහොතක්

මහා පරිමාණ වංචා දූෂණ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ අද (24) සාක්ෂි දී පිටතට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මාධ්‍යවේදීන් ඉදිරියේ අදහස් දක්වමින් ‘රක්නා ලංකා’ ආරක්‍ෂක ආයතනය සම්බන්ධයෙන් තමාගෙන් ප්‍රශ්න කෙරුණ බව කියා සිටියේය.

හිටපු ආරක්ෂක ලේකම් වරයාගෙන් අද පැය හයක පමණ කාලයක් ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ.

‘රක්නා ලංකා’ සමාගමට අයත් වත්කම් අවභාවිතය සහ සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් දේශපාලන කාර්යයන්හි නිරත කරවීම සම්බන්ධයෙනුයි හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව චෝදනා එල්ල වෙන්නේ.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දුන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමාට නැවත කැඳවීමක් ගැන දැනුම් නොදුන් බවත් සඳහන් කළේය.

Image caption ගෝඨාභය අල්ලස් කොමිසමට කැඳවන ලද අවස්ථාවක්

මහාපරිමාණ වංචා දූෂණ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් ලෙස්ලි ද සිල්වා ප්‍රකාශයක් කරමින්, රක්නා ලංකා සමාගම සම්බන්ධයෙන් ලද පෙත්සමක් පිළිබඳව විමසීමට ගෝඨාභය රාජපක්ෂ කැඳවන ලද බවයි කියා සිටියේ.

නිල ඇඳුම් මාරුව

විශේෂයෙන් ජනාධිපතිවරණ සමයෙහි ‘රක්නා ලංකා’ සේවකයන් පන්සීයක් පමණ දේශපාලන කටයුතුවල නිරත කරවීම ගැන එම පෙත්සම මගින් පැමිණිලි කරනු ලැබ ඇති බවයි ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් ලෙස්ලි ද සිල්වා පවසන්නේ.

එම සේවකයන්ට රුපියල් ලක්ෂ හැටක පමණ මුදලක් ගෙවා ඇති බවක් ද පෙත්සමේ දැක්වෙන බවයි ඔහු සඳහන් කළේ.

Image caption පොලිසිය රක්නා ලංකා අවි පිරික්සයි.

මේ අතර සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් ඔවුන්ගේ නිල ඇඳුමින් නොව වෙනත් ඇඳුමකින් ජනාධිපතිවරණ කටයුතු වල නිරත කරවීම තවත් චෝදනාවකි.

එසේම රාජ්‍ය අයිතිය සහිත ‘රක්නා ලංකා’ අවි වෙනත් පෞද්ගලික ආරක්ෂක කාර්යයන් සඳහා බදු දීම සම්බන්ධයෙන්ද හිටපු ආරක්ෂක ලේකම්වරයාට චෝදනා කෙරෙයි.

ඉහත කී ප්‍රශ්න කිරීම් සිදු කෙරුණේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ භූමි පරිශ්‍රයේදී.