‘විපක්ෂ නායක පදවිය දෙමළ ජාතික සන්ධානයට’-ජවිපෙ

Image copyright nihal
Image caption නිහාල් ගලප්පත්ති (පා.ම.)

රට තුළ බල පැවැත්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ දේශපාලන සදාචාරය අනුව විපක්ෂ නායක පදවිය හිමිවිය යුත්තේ ආණ්ඩුවෙන් පරිබාහිර ඊ ලඟට වැඩිපුර ආසන සංඛ්‍යාවක් සහිත දේශපාලන කණ්ඩායමට යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති කියා සිටියේ, එම දේශපාලන යථාර්ථය අනුව ශ්‍රී ලංකාවේ මී ළඟ විපක්ෂ නායක පදවිය දෙමළ එක්සත් සන්ධානයට හිමි විය යුතු බවයි.

‘ඔවුන්ගේ පරමාර්ථ අපෙන් වෙනස් වෙන්න පුළුවන්. එහෙත් ඔවුන් මේ රටේ පුරවැසියන්. ජනතා විමුක්ති පෙරමුණට තිබෙන්නේ ආසන හයක් පමණයි. එම තත්වය යටතේ වැඩිපුර ආසන සංඛ්‍යාවක් සහිත දෙමළ ජාතික සන්ධානයට අනිවාර්යයෙන්ම විපක්ෂ නායක පදවිය හිමි විය යුතුයි’ නිහාල් ගලප්පත්ති මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා පෙරමුණත් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති අතරවාරයේ විපක්ෂ නායක පදවියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත තබා ගැනීමට යාම දේශපාලන විකෘතියක්ය යන්න ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අදහසයි.

Image copyright bbc
Image caption ජවිපෙ ප්‍රචාරක පුවරුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂ නායක පදවිය භාර ගනු ලැබුනොත් එය පාර්ලිමේන්තු ඉතිහාසයේ සිදු වූ ලොකුම විකෘතිය වන බවත් මන්ත්‍රීවරයා පවසයි.

ජාතික ආණ්ඩුව

එක්සත් ජාතික පෙරමුණ සහ පොදු ජන එක්සත් පෙරමුණ පිහිටුවා ගැනීමට යන නව පාලනය ජාතික ආණ්ඩුවක් හැටියට පිළිගත නොහැකි බවත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියි.

ජාතික ආණ්ඩුවක් යනු සිංහල දෙමළ මුස්ලිම් සහ බර්ගර් යන ජන කොටස් ඇතුළත් සමස්ත ශ්‍රී ලංකා ජාතියට වග කියන සියලු දේශපාලන පක්ෂ සංගත වූ පොදු වැඩ පිළිවෙලක් සහ න්‍යාය පත්‍රයක් සහ පිළිවෙතක් මත පදනම් වූ පාලන තන්ත්‍රයක් විය යුතු බවයි නිහාල් ගලප්පත්ති මන්ත්‍රීවරයා පවසන්නේ.

Image caption ජවිපෙ උද්ඝෝෂණයක්

එහෙත් අද සිදු කිරීමට යන්නේ ‘ජාතික ආණ්ඩුවක නාමයෙන්’ ප්‍රධාන දහරාවේ දේශපාලන පක්ෂ දෙක ඔවුනොවුන්ගේ බලය තහවුරු කර ගැනීමටය යන්න ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාගේ අදහසයි.

ජම්බෝ ඇමති මණ්ඩලයක්

අලුතින් පත් කිරීමට යන කැබිනට් මණ්ඩලයට ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් අනූවක් පමණ ඇතුළත් කිරීමේ ප්‍රවණතාවක් ඇති අතර ඊට එරෙහිව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති පවසයි.

මේ අතර අද (28) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද විපක්ෂ නායකයා නම් කරන බවයි ජන මාධ්‍ය මගින් ප්‍රකාශ වන්නේ.