වගකීම් පැහැර නොහරින්න - TNA

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දමිළ දේශපාලන පක්ෂ මී ළඟ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකත්වය තමන්ට ලැබිය යුතු බව පළමු වරට නිල මට්ටමින් ප්‍රකාශයට පත් කළහ.

ඔවුන් එම අයිතිය කියා සිටින්නේ සෙනසුරාදා (29) නිකුත් කරන ලද නිල ප්‍රකාශනයක් මගිනි.

පසුගිය මහ මැතිවරණයේ දී ඉලංකයි තමිල් අරසු කච්චි පක්ෂය යටතේ තරඟ වැදුන දෙමළ අපේක්ෂකයන්ගෙන් දහසය දෙනෙක් නව පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති.

පිලිවෙලින් බහුතර ආසන සංඛ්‍යාවන් දිනා සිටින එක්සත් ජනතා පෙරමුණ සහ එක්සත් ජනතා සන්ධානය ලඟට වැඩිම ආසන සංඛ්‍යාව හිමි වන්නේ ඉලංකයි තමිල් අරසු කච්චි පක්ෂයටයි.

සම්මුතිවාදය

Image caption TNA නායකයා විපක්ෂ නායකයා විය යුතු බවයි පැවසෙන්නේ.

මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණ සහ නිදහස් සන්ධානය එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවා ඇති හෙයින්ද, එම දේශපාලන කණ්ඩායම් දෙකම කැබිනට් මණ්ඩලය තුළ නියෝජනය වෙන අතර සාමූහික වගකීමට බැඳී සිටින හෙයින්ද ඊ ලඟට වැඩිම ආසන සංඛ්‍යාව හිමි තමන්ට විපක්ෂ නායක පදවිය ලැබිය යුතු බවයි, ඉලංකයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහ දෙමළ ජාතික සන්ධානයේ නමින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයේ දැක්වෙන්නේ.

ඉලංකයි තමිල් අරසු කච්චි නායකයා විපක්ෂ නායකයා විය යුතු බවත් එම නිවේදනය කියා සිටී.

දමිළ ප්‍රජාවට සමාන මට්ටමින් සැලකීමට කැප වී සිටින බව ආණ්ඩුව සහ ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ කියා ඇතත් උතුරු සහ නැගෙනහිර දෙමළ ජනතාව ප්‍රජාතන්ත්‍රීය ලෙස තෝරා පත් කර ගත් නියෝජිතයන් ප්‍රධාන විපක්ෂය හැටියට පිලි ගැනීමට අපොහොසත් වීම මගින් නිරූපනය කෙරෙන්නේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා එම වගකීම පිළිගෙන කටයුතු කිරීමට අභිප්‍රායක් නොමැති බවත් දෙමළ නායකයන් විසින් නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙයි.

අප්පාපිල්ලෙයි අමිර්තලිංගම්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ දෙමළ නායකයෙක් විපක්ෂ නායක පදවියට පත්ව ඇත්තේ එක වතාවක් පමණි.

Image caption අප්පාපිල්ලෙයි අමිර්තලිංගම්

1977 මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ හයෙන් පහක ආසන සංඛ්‍යාවක් දිනා ගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වුණේ ආසන අටක් පමණි.

ඒ අනුව,එම මැතිවරණයේදී පාර්ලිමේන්තු ආසන දහඅටක් දිනා ගත් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් විපක්ෂ නායක පදවියට පත් විය.

එහෙත් ඔහුට එම පදවිය දැරීමට හැකි වූයේ ඉතා කෙටි කලකටයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වැනි සංශෝධනයට අනුව දිව්රුම් නොදීම නිසා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවෙන් බැහැර වූ අතර විපක්ෂ නායක පදවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි විය.

මේ වසරේ ජනවාරි අට වෙනි දින ජනාධිපතිවරණයේ දී සහ මහමැතිවරණයේ දී ජනතාව රට ඉදිරියට යාම සඳහා අවස්ථාවක් උදා කර දී ඇති පවසන දෙමළ නායකත්වය එම අවස්ථාව මග නොහරින ලෙසත් ඉහත කී ප්‍රකාශනය මගින් ඉල්ලීමක් කර ඇත.