ඇමතිවරු 45ක්, කතානායක කරු?

Image copyright Getty
Image caption 'පක්ෂය පවරන ඕනෑම වගකීමක් භාරගැනීමට සූදානම්' - කතානායක පදවියට යෝජනා වී සිටින කරු ජයසූරිය මන්ත්‍රීවරයා

සම්මුතිවාදී ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය පදවි 45 ක් බෙදා ගැනීමට එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වී ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි.

ඒ එක්සත් ජාතික පක්ෂයට අමාත්‍ය පදවි 33 ක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමති තනතුරු 12ක් වශයෙන්.

ඊට අමතරව රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 55 දෙනකු පත්කිරීමටත් ප්‍රධාන පක්ෂ දෙක එකඟත්වයකට පැමිණ තිබේ.

අගෝස්තු 17 වැනි දින පැවැත්වුණු මහ මැතිවරණයෙන් තේරී පත්වුණු ආණ්ඩුවේ තනතුරු බෙදා ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පැවති මතභේද සමථයකට පත් වී ඇති බවයි සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසන්නේ.

විපක්ෂනායක?

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සම්මත වූ පරිදි අමාත්‍යවරුන් සංඛ්‍යාව 30 කට වඩා ඉහල නැංවීම පිණිස අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවේ අනුමැතිය පැතීමට නියමිතය.

Image caption හිටපු විපක්ෂනායකවරයාට අමාත්‍ය පදවියක් පිරිනැමෙන බවට වාර්තා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් සහ විපක්ෂනායක තනතුරට නම් කිරීමේ බලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට පවරා දීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගියදා තීරණය කළේය.

එහෙත් සම්මුතිවාදී ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය තනතුරු හොබවන අතරවාරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විපක්ෂනායක පදවියත් හිමිවීම පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් පක්ෂවල මෙන්ම දෙමළ ජාතික සන්ධානයේද විරෝධය පළ වී තිබේ.

විපක්ෂනායක පදවිය සම්බන්ධයෙන් මේ මොහොතේ කිසිවක් සඳහන් කළ නොහැකි බවයි, කතානායක පදවියට යෝජනා වී තිබෙන එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේදී කතානායක පදවියට සිය නම යෝජනා වූ බව සඳහන් කළ මන්ත්‍රීවරයා, පක්ෂය පවරන ඕනෑම වගකීමක් භාරගැනීමට සූදානම් බවත් පැවසීය.

ජනාධිපතිවරයා විසින් නියෝජ්‍ය කතානායක පදවියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයකු නම් කරනු ඇතැයි ජනමාධ්‍යවල පල වී තිබෙනු දුටු බවත් කරු ජයසූරිය මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.