'කේපීට එරෙහි අපරාධ චෝදනා අනාවරණය වී නැහැ'

Image copyright Interpol India

කොටි සංවිධානයේ හිටපු නායක කුමරන් පද්මනාදන්ට එරෙහිව කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

කුමරන් පද්මනාදන් හෙවත් කේපී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් රජයට නියෝගයක් පනවන මෙන් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ඉකුත් ජනවාරියේ දී නඩුවක් ගොනු කර තිබුණි.

එම පෙත්සම තුළින් කුමරන් පද්මනාදන්ට එරෙහිව චෝදනා 190 ක් පමණ එල්ල කර තිබු අතර ඒ පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් අභියාචනාධිකරණය ඉකුත් පෙබරවාරි මස නීතිපතිවරයාට නියම කළේය.

Image copyright www.interpol.int
Image caption කලකට ඉහත ඉන්ටපෝල් ජාත්‍යන්තර පොලිසිය පළ කර තිබූ කේපීගේ ඡායාරූප

'කණගාටුදායක තත්වයක්'

කුමරන් පද්මනාදන් කොටි සංවිධානයේ නායකයා ලෙස කටයුතු කරමින් අපරාධ ක්‍රියා රැසක නිරත වී ඇති බව පසුගිය කාලයේ රජය විසින්ම ප්‍රකාශ කර තිබියදී ඔහුට එරෙහිව මෙතෙක් චෝදනා අනාවරණය වී නොමැති බව නීතිපතිවරයා ප්‍රකාශ කිරීම කණගාටුදායක තත්වයක් බවයි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිවේදී සුනිල් වටගල කියා සිටියේ.

මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීම් සිදු කිරීමට සති හයක කාලයක් ලබා දෙන මෙන්ද රජයේ නීතිවේදියා අද (31) අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු අධිකරණය කුමරන් පද්මනාදන් ට එරෙහිව පවතින චෝදනා පිළිබඳ වාර්තාවක් ඔක්තෝම්බර් මස 28 වනදාට පෙර ඉදිරිපත් කරන මෙන් නීතිපතිවරයාට නියම කළේය.