පෙම් ගී ලියන ලන්ඩන් හාමුදුරුවෝ

Image copyright Konwewe Ariyarathana Thero
Image caption 'තරුණ වියේදී අනපේක්ෂිත විදියට සමහර විට තරුණියන් පවා අපට පෙම් කරන්නට ඉදිරිපත් වෙලා තියනවා'

බෞද්ධ භික්ෂූන් වහන්සේ ගීත රචනයට යොමුවීම කිසිසේත්ම අලුත් අත්දැකීමක් නොවේ.

එහෙත් භික්ෂූන් වහන්සේ පෙම් ගී රචනා කිරීමත්, ප්‍රේමය පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමත් ඇතැම්විට ආගන්තුක අත්දැකීමක් විය හැකියි.

පසුගියදා ලන්ඩන් නගරයේදී සිය පෙම් ගී ඇතුළු නිර්මාණ කෘති කිහිපයක් එළි දැක්වූ කෝන්වැවේ අරියරතන හිමියන්ගේ නිර්මාණවලට ප්‍රස්තූත වූයේ එහිමියන්ගේ සැබෑ අත්දැකීම්ද?

ඒ රචනා එලෙසින් ලියැවුණේ ප්‍රේමයේ සෙනෙහස හෝ විරහ වේදනාව එහිමියනුත් වින්ද තිබෙන නිසාද? මා එහිමියන්ට ඒ පැනය යොමු කළේ මඳ චකිතයකින්.

"අපොයි දැනුණු අවස්ථා, විඳපු අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. ප්‍රේමයේ විවිධ පැතිකඩ තියනවා," මා පැනයට එහිමියන්ගෙන් ලැබුණු ප්‍රතිචාරයයි, ඒ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"අම්මගෙන්, තාත්තාගෙන්, ගුරුවරයාගෙන් ලැබුණු ප්‍රේමයට අතිරේකව අපි හාමුදුරුවෝ වශයෙන් ඒ වගේම ගිහි පැවිද්දන් වශයෙන් අන්‍යෝන්‍ය විදියට ආදරය විඳගෙන තියනවා."

මවු සෙනෙහස හෝ වැඩිහිටියන්ගෙන් ලැබුණු සෙනෙහස හැරුණු විට යොවුන් වියේ ප්‍රේමය? කෝන්වැවේ අරියරතන හිමියන් ස්වේච්ඡාවෙන්ම මෙසේ පිළිතුරු දුන්නේ මා සිත මතු වූ පැනය වැටහුණු හෙයින්ද?

"ඇත්තෙන්ම කියනවා නම් තරුණ වියේදී අනපේක්ෂිත විදියට සමහර විට තරුණියන් පවා අපට පෙම් කරන්නට ඉදිරිපත් වෙලා තියනවා. ඉතින් ඒවා අපි, අපිට නොගැලපෙන දේවල්වලින් අපි සූක්ෂමව ගැලවිලා ගැලපෙන දේ පමණක් කරපු නිසා මේ වගේ ගමනක් ආව."

නමුත් පැවිදි දිවියට ඇතුළු වූ පමණින්ම සියලු කෙලෙස්වලින් මිදුණු බවක් එයින් අදහස් නොවන්නේ නේදැයි යන්න අරියරතන හිමියන් වෙත මා යොමු කළ තවත් ප්‍රශ්නයක්.

"කවියෙකුට, ගීත රචකයෙකුට ඒ නිමිත්ත ලැබෙන්නේ විවිධ විදියට. ඒක තමන් විඳින්නම ඕනේ නැහැ."

Image copyright AFP
Image caption පැවිදි දිවියට ඇතුළු වූ පමණින්ම කෙලෙසින් මිදුණු බවක් එයින් අදහස් වන්නේද?

"හැබැයි අත්දැකීම්වලින් ලියපු ඒවත් තියනවා. ඇතැම් ගීත යම්කිසි අත්දැකීමක සේයාවක් පාදක කරගෙන ලියපු අවස්ථාත් තියනව."

එහිමියන් ගීත රචනයට යොමු වූයේ ඇයි?

"සරෝජ් ඒක අර මම මහණ වුනේ ඇයි කියල ඇහුවාම වගේ මට උත්තරයක් නෑ."

කුඩා කල සිටම කෙටිකථා, නවකථා සහ නාට්‍ය පිටපත් රචනය ඇතුළු බොහෝ නිර්මාණවලට යොමු වූ කෝන්වැවේ අරියරත්න හිමියෝ, බොහෝ අවස්ථාවල සිය කවි හෝ ගීත රචනා වෙනුවෙන් සම්මාන ලැබූහ.

මීට වසර දෙකකට පමණ ඉහතදී වැඩිහිටි පරපුර ඉලක්ක කොට 'තරු එළියක්' කාව්‍ය සංග්‍රහය එළි දැක්වූ එහිමියන්, කුඩා දරුවන් වෙනුවෙන් සංයුක්ත තැටියත්, වැඩිහිටි දරු පරපුර වෙනුවෙන් 'බෝ මළුවේ සුදු වැලි කැට' සංයුක්ත තැටියත් පසුගියදා ප්‍රකාශයට පත් කළේ ලන්ඩන් නුවරදී.

ශ්‍රී ලාංකික බෞද්ධ හිමිනමක විසින් ලන්ඩනයේදී ගීත සංග්‍රහයක් ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව එය බවයි, සැලකෙන්නේ.