පැරණි අභියෝග පිළිගන්නා අලුත් පාර්ලිමේන්තුව

Image copyright EPA

ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුව සැප්තැම්බර් පළමු වෙනි දින රැස් වෙන්නේ දිවයිනේ ප්‍රධානතම ලිබරල්වාදී දේශපාලන පක්ෂ දෙක අතර ඇති වූ අවබෝධතා ගිවිසුමක් මගින් ගොඩ නගා ගත් ‘සම්මුතිවාදී’ ආණ්ඩුවක් සමඟයි.

අගෝස්තු දාහත් වෙනි දින පැවැත්වුන මහ මැතිවරණයෙන් නිශ්චිත පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගැනීමට කිසිදු දේශපාලන පක්ෂයක් අසමත් විය.

මැතිවරණයට පෙර පටන්ම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කියා සිටි පරිදි ප්‍රධාන පක්ෂ දෙක එකමුතුව පිහිටුවා ගනු ලබන නව පාලනය ‘ජාතික ආණ්ඩුවක්’ හැටියට බවුතීස්ම කරනු ලැබ ඇත.

වැඩිම ආසන සංඛ්‍යාවක් සහිත එක්සත් ජාතික පෙරමුණට ව්‍යවස්ථාදායක බලය පවත්වා ගැනීමට නම් කවර හෝ දේශපාලන පක්ෂයක සහයෝගය අවශ්‍ය කරන අතර අගමැති රනිල් වික්‍රමසිංහ තමාට පහසුවෙන් කිට්ටු කර ගත හැකිව තිබුණ ඉලංකයි තමිල් අරසු කච්චි දේශපාලකයන් වෙත නොව එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙත යොමු වීම සුවිශේෂී කරුණකි.

Image copyright EPA
Image caption අභියෝගය භාර ගන්නා නියමුවන්

මැතිවරණයෙන් අනතුරුව බලවේග හැසිරෙමින් ඇති ආකාරය අනුව ව්‍යවස්ථාදායක බලය පාවිච්චිය අතින් වත්මන් ආණ්ඩුවට දැනට බාධාවක් නැතත් ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුව ඉදිරි කාලයෙහි අභියෝග කීපයකට මුහුණ දීම පවතින දේශපාලන යථාර්ථයයි.

ජාතික ආණ්ඩුව පවත්වා ගෙන යාම

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මැතිවරණයට පෙර පටන්ම ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් පෙනී සිටියත් එම ජාතික ආණ්ඩුවේ සංයුතිය විපක්ෂයේ ඇතැම් දේශපාලන පක්ෂ පමණක් නොව දේශපාලන විචාරකයන්ගේ ද ප්‍රශ්න කරණයට ලක් වෙමිනුයි පවතින්නේ.

දේශපාලන නිර්වචනයක් ද සමඟ නව පාලනයේ සංයුතිය විශ්ලේෂණය කරන ඇතැම් කණ්ඩායම් වල තර්කය මෙය පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙන සමස්ත හෝ බහුතර දේශපාලන පක්ෂ ඇතුළත් නොවන එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ද සැලකිය යුතු පාර්ශ්වයක සහයෝගය නොලබන ව්‍යාජ ජාතික ආණ්ඩුවක් වන බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නැගී එන දේශපාලන තරුවක් වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ජාතික ආණ්ඩුවක් නොව සිය පක්ෂයේ ආණ්ඩුවක් ස්ථානගත නොකිරීමට හේතු පක්ෂ නායකත්වය වෙත යොමු කරයි.

එවැනි නැඹුරු වීම් මගින් මතු කෙරෙන දේශපාලන අභියෝගය වන්නේ වත්මන් පාලනය පදනම් වෙන ජාතික ආණ්ඩු ආකෘතිය ආරම්භයේ පටන්ම පාර්ලිමේන්තුව තුළ අභියෝගයට ලක් විය හැකි බවයි.

Image caption පාර්ලිමේන්තු විවාදයක්

එක්සත් ජනතා සන්ධානයේ නායක මෛත්‍රීපාල සිරිසේන විපක්ෂ නායකයා නම් කරනු ලැබීමේ අයිතිය අත් හරිනු ලැබීම මගින් ද පෙන්නුම් කෙරෙන්නේ එම අභියෝගයේ බලපෑමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

විධායක ජනාධිපතිවරයකුට තෙවැනි වරටත් පදවිය සඳහා තරඟ වැදීමට දහඅට වැනි සංශෝධනයෙන් විවර කර ගත් දොරටුව දහනව වැනි සංශෝධනය මගින් මේ වන විට වසා දමනු ලැබ ඇතත් නව පාලනය ජනවාරි අට සහ අගෝස්තු දාහත සිය ජයග්‍රහණද්වයට පෙර ප්‍රතිඥා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වෙනස පෙරට ගෙන යාම නව පාර්ලිමේන්තුව මුහුණ දෙන ප්‍රධාන අභියෝග අතර මුල් තැනක් ගනී.

එය අභියෝගයක් වන ආකාරය විසි වෙනි ව්‍යවස්ථා සංශෝධන ප්‍රයත්නයේ දී පසුගිය පාර්ලිමේන්තුව අත්දුටු අතර එම යෝජනාවේ නිර්මාතෘවරුන් මේ වන විට දේශපාලනමය වශයෙන් ජයග්‍රහණයක් ලබා ඇතත් සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු අභිමතය දිනා ගැනීම පහසු කාර්යයක් නොවන බවයි පෙනී යන්නේ.

දහනව වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාදායක බලයේ යම් සීමා කිරීමක් සිදු කෙරුණත් විධායක ජනාධිපති පාලන ක්‍රමය සහමුලින්ම උපුටා දැමිය යුතුය යන මතවාදය පෙරට ගෙන ගිය බලවේග එම පදවිය සහමුලින්ම ඉවත් කරන මෙන් නව පාර්ලිමේන්තුවට බල කරනු ලැබීමට පවතින ඉඩකඩ ඉවත්ව නොමැත.

Image copyright gosl
Image caption පැරණි දූෂණ වලට වැට බැඳීම නව පාලනයේ ප්‍රතිඥාවක්

එවැනි වාතාවරණයක් යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ස්වභාවය හඳුනා ගැනීම මෙන්ම එය කෙටුම්පත් කිරීමේ වැඩ පිළිවෙල කුමක්ද යන්න ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මුහුණ දෙන ප්‍රබල අභියෝගයක් වනු ඇත.

දූෂණ වලින් තොර පාලනයක්

වර්තමාන ජනාධිපතිවරයා බලයට පත් වුනේ ‘දූෂණ වලින් තොර පාලනයක්’ සම්බන්ධයෙන් දුන් ප්‍රතිඥාව සමාජගත කිරීමේ දේශපාලන මූලෝපාය මගින් වන අතර දින සීයේ වැඩ පිළිවෙල ප්‍රධාන වශයෙන් කේන්ද්‍රගත කරනු ලැබ තිබුණේ ද ඊට අනුගත සැලැස්මක් මතයි.

අද බලයේ සිටින සම්මුතිවාදී ආණ්ඩුවේ බලධාරීන් සහ හවුල් කරුවන් මහජන බලය ඉල්ලා සිටීමේ දී දූෂණ සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කළ කලින් බලයේ සිටි මහින්ද රාජපක්ෂ පාලනයේ ප්‍රධානීන් සැලකිය යුතු පිරිසක් නව පාර්ලිමේන්තුව තුළත් නියෝජනය වන අතර දූෂණයට එරෙහිව පියවර ගැනීමේ දී සභා ගර්භය තුළ නියෝජනය වන්නන් සම්බන්ධයෙන් පළමුව පියවර ගැනීමට සිදු වීමත් සමඟ ඔවුන්ගේ ද සහයෝගය ලබන ව්‍යවස්ථාදායකයකට එම කාරණය අතින් ගමන් කළ හැකි දුර ප්‍රමාණය අතින්ද නව පාර්ලිමේන්තුවට අභියෝගයක් එල්ල වනු ඇත.

ජාතික ඒකාග්‍රතාවය

ජනවාරි අට වෙනි දිනෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික නායකත්වය රට තුළ සිදු වූ බල පෙරැළිය සම්බන්ධයෙන් මෙතෙක් පළ කරනු ලැබ ඇති ශුභවාදී සංඥාවන් ඉඳුරා රඳා පවතින්නේ ඉදිරි පාර්ලිමේන්තුව විසින් දෙමළ ජනයාගේ ඉල්ලීම් සපුරා ලීමට කටයුතු කරන ආකාරය අනුවයි.

තමන් බෙදුම් වාදයෙන් පිටස්තර වන බව දෙමළ ජාතික සන්ධානය විසින් අවධාරණයෙන් කරනු ලැබ ඇති අතර නව පාලනයට විවෘත සහයෝගය පළ කොට ඇත.

Image caption යුද්ධය නිමාවේ සිදු වූ දේ ගැන විභාගය තවත් අභියෝගයක්

මධ්‍යස්ථ දේශපාලනඥයකු හැටියට සැලකෙන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පසුගිය දා ප්‍රසිද්ධියේ කියා සිටියේ දෙමළ ජනතාවට අවශ්‍ය ‘ආණ්ඩුවට පවරා ගත නොහැකි’ බලයක් වන බවයි.

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ වුවද එම බලය ප්‍රදානයට නව පාර්ලිමේන්තුවේ ජාතිකවාදී බලවේග කෙරෙන් පහසු ඉඩක් ලැබේද යන්න තවමත් ප්‍රශ්නයකි.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අන්තිම අදියරේදී සිදු විනැයි චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ මිනිස් ඝාතන සම්බන්ධයෙන් කෙරෙන විභාගය අභ්‍යන්තර පරීක්ෂණයකට සීමා කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟ වී ඇතත් එය පෙරට යන ස්වාභාවයත් මේ කාරණය සමඟ ඍජුවම බැඳී ඇත.

ආර්ථික පිළිවෙත

ආර්ථික තීන්දු අතින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ප්‍රතිවිරුද්ධ වෙනස් මාර්ග දෙකක ගමන් නොකළත් ක්‍රියාමාර්ගමය අතින් දේශපාලන වේදිකාවේ ඉස්මතු කරන ප්‍රතිපත්තිමය විවාදයක් පවතී.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නියමිත කාලයට පෙර ජනවාරි අට වෙනි දින ජනපතිවරණය කැඳවීමත් සමඟ ඔහුට එරෙහිව විපක්ෂය විසින් ගෙන ගිය විරෝධයේ ප්‍රබල මාතෘකාවක් වුණේ ඔහුගේ පාලනය විසින් පෙරට ගෙන යමින් තිබුණ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ඇති කර ගන්නා ලද ගිවිසුම් පද්ධතියයි.

Image caption වරාය නගරයට විසඳුම කුමක්ද?

එදා විපක්ෂය විසින් නම් කරනු ලැබ තිබුණ ආකාරයට ඊනියා ‘මෙගා’ ගිවිසුම් මග හරිමින් නව ආර්ථික පිළිවෙතක් කරා යාමේ අවකාශයක් වත්මන් පාර්ලිමේන්තුවට තිබේද යන්න ගැටළුවක් වන්නේ එම පාලනයේ සැලකිය යුතු කොටසක් ද වත්මන් ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදන කාර්යයට හවුල් වෙන හෙයිනි.

ෆෝර්ට් සිටි ව්‍යාපෘතියේ පටන් බොහෝ දැවැන්ත ආර්ථික ව්‍යාපෘතීන්ට අදාළ උභතෝකෝටිකය තවමත් පවතින්නේ සැඟවුන මට්ටමක නමුත් ඒවා ඉක්මනින් මතු වීම නොවැලක්විය හැකිය.

ඉහත කී කරුණු දෙස ඓතිහාසික ඇසින් බලන විට ඒවායෙන් බොහොමයක් තවත් පාර්ලිමේන්තුවක් වෙත ඉදිරිපත් වෙන පැරණි ප්‍රශ්න සමුදායක් වන බවයි පෙනී යන්නේ.

එහෙත් එම ප්‍රශ්න නිශ්චිතව විසඳීමේ ප්‍රතිඥාව සමඟ බලය ලබා ගත් හෙයින් ඒවා විසඳීමේ අභියෝගය මග හැරීමට මෙම පාර්ලිමේන්තුවට නොහැක.