අතුරුදහන් වූවෝ: 'අපි ගැනම යළි සිතා බැලීමට කාලය ඇවිත්'

ගතව ගිය දශකයකට ආසන්න කාලය ඇතුලත අතුරුදහන් වූ දස දහස් සංඛ්‍යාත පිරිසකට අත් වූ ඉරණම කවරක්ද යන්න ඔවුන්ගේ මවු පියන්, දරු දැරියන් ඇතුලු සමීපතමයන්ට තවමත් අභිරහසක්.

ඔවුන්ගෙන් ඇතැමකු යළි කවදා හෝ පැමිණෙනු ඇතැයි ඇතැමකු බලාපොරොත්තු දල්වා සිටින අතරවාරයේ, සිය සමීපතමයා දිවි හැර ගොස් ඇති බව දන්නා නමුත් සත්‍යය සොයා ගැනීමට තවත් සමහරෙක් තවමත් උත්සාහ දරමින් සිටිති.

ඒ අතුරුදහන් වූවන් සැමරෙන ජාත්‍යන්තර දිනය පසුගිය අගෝස්තු 30 වැනි දිනට යෙදී තිබිණ.

අතුරුදහන් වූවන් සැමරෙන ජාත්‍යන්තර දිනය වෙනුවෙන් විශේෂ කාව්‍ය රචනා තරඟයක් දියත් කරන ඇම්නස්ටි ජාත්‍යන්තරය පවසන පරිදි, බලහත්කාර අතුරුදහන් කරවීම් ලොව වැඩිම වශයෙන් වාර්තා වෙන්නේ ශ්‍රී ලංකාවෙන්.

Image caption සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් සිය අත්දැකීම් කවියට නගන මෙන් ඇම්නස්ටිය ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි

කාව්‍ය රචනා තරගයක් දියත් කළ පමණින් සිය සමීතමයන්ට අත් වූ ඉරණම කවරක් දැයි නොදැන වේදනාවෙන් තැවෙන දස දහස් සංඛ්‍යාත සිංහල, දෙමළ, මුස්ලිම් ශ්‍රී ලාංකිකයන්ගේ ඒ වේදනාව සමනය කෙරෙන්නේද?

"වේදනාව යටපත් කිරීමක් මම හිතන්නේ කරන්න අමාරුයි කවිය සහ වෙනත් කලා අංශවලින්," යන්නයි ඒ ප්‍රශ්නයට ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩගේ ප්‍රතිචාරය වූයේ.

සිංහල 'නිහඬ කළ සෙවණැලි' කාව්‍ය රචනා තරගයේ සිංහල භාෂා අංශයේ එක් විනිශ්චයකරුවෙක්.

"කරන්න පුළුවන් වෙන්නේ ඒ වේදනාව දිහා වෙනත් අංශවලින් බලන්නට මිනිසුන්ව යොමු කිරීමයි."

ලබන ඔක්තෝබර් 30 වැනි දින දක්වා සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් සිය අත්දැකීම් කවියට නගන මෙන් ඇම්නස්ටිය ලොව පුරා වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

Image caption 'පාලකයන් විසින් රටක ජනතාවට අත් කරන ආපදාවන් සම්බන්ධයෙන් මම හිතනවා හැම මාධ්‍යයක්ම භාවිත කරලා ඒ පිළිබඳ දැනුවත්භාවයක් ලෝකේ හැම රටකම ඇති කරන්න ඕන'

"විශේෂයෙන්ම දේශපාලනික කාරණා මුල් කරගෙන, පාලකයන් විසින් රටක ජනතාවට අත් කරන ආපදාවන් සම්බන්ධයෙන් මම හිතනවා හැම මාධ්‍යයක්ම භාවිත කරලා ඒ පිළිබඳ දැනුවත්භාවයක් ලෝකේ හැම රටකම ඇති කරන්න ඕන කියල," ඔහු පැවසීය.

අතුරුදහන්වූවන් පිළිබඳව තොරතුරු සෙවීම සහ ඔවුන්ගේ ඥාතීන්ට සහන සලසන දේශපාලන ව්‍යාපාර ශ්‍රී ලංකාවේත් ක්‍රියාත්මක වූ නමුත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවූ කළ කලාවේ අවශ්‍යතාවය මතුවන බවයි, දේශපාලන විශ්ලේෂකයකුද වන ගාමිණී වියන්ගොඩ පෙන්වා දෙන්නේ.

විශේෂයෙන්ම ජනවාරි මාසයේ පැවති ජනපතිවරණයෙන් සහ අගෝස්තු මහ මැතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ඇති වූ පරිවර්තනය හමුවේ ගතව ගිය දශකයක පමණ කාලය ඇතුලත දිවයිනේ සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව ආපසු හැරී බැලීමට 'අවකාශයක් උදා වී ඇති' බව ඔහුගේ අදහසයි.

Image caption 'අපි අපි ගැනම යළි සිතා බැලීමට කාලය ඇවිත්'

එහෙත් එසේ 'ආපසු හැරී බැලූ' පමණින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ට සාධාරණය ඉටු වන්නේද?

"ඇත්තෙන්ම ඔබ ඔය කියන කාරණය කවියට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි," ඒ යළිත් ගාමිණී වියන්ගොඩ. (ඔහු සමඟ බීබීසී සංදේශයේ සංවාදයට සවන් දෙන්න)

"එක ඇත්තවශයෙන්ම කළ යුත්තේ පාලකයා එක පැත්තකින්. අනිත් පැත්තෙන් සමස්තයක් වශයෙන් ගත්තහම සමාජය. මේ සමාජය දැනගන්න ඕනේ ඒ ඇතිවෙච්ච පීඩාවට විසඳුම් කොහොමද සොයා ගන්නේ කියන එක පිළිබඳ යම්කිසි අවබෝධයක් සමාජයට තියෙන්න ඕනේ."

එමෙන්ම වත්මන් ප්‍රශ්නයට පිළියම් යොදන අතරම අනාගතයේ එය වළක්වන්නේ කෙසේද යන්න පිළිබඳව පාලකයාටත් නිසි දැක්මක් තිබිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී කවියාගේ කාර්යභාරය එයට අත්වැලක් සැපයීම පමණක් බව ඔහුගේ අදහසයි.

"ඉතින් ඒක තීරණය වෙන්නේ එක පැත්තකින් අපේ රටේ නව පාලකයන් මේ කියන ප්‍රශ්න බරසාරව ගනීද කියන කාරණය, අනිත් පැත්තෙන් කලාකරුවන් මේක කොච්චර දුරට ගැඹුරින් තේරුම් ගනීද කියන කාරණා මත."

Image copyright Getty
Image caption 'අනාගතයේ එය වළක්වන්නේ කෙසේද යන්න පිළිබඳව පාලකයාටත් නිසි දැක්මක් තිබිය යුතුයි'

ගතව ගිය දශක කිහිපය තුල ශ්‍රී ලාංකීය බලධාරීන්ගේ මෙන්ම සමාජයේද ක්‍රියාකලාපය දෙස යළි විමසුම් බැල්මක් හැලීමට කාලය එළඹ ඇති බවයි ප්‍රවීණ ලේඛකයා පවසන්නේ.

"අපි අපි ගැනම යළි සිතා බැලීමට කාලය ඇවිත්."

(entry.poetry@amnesty.org ඊමේල් ලිපිනයට ඔබේ කවි රචනා යොමු කරන්න)

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර