මහින්ද මෛත්‍රී සිනහ මුවින්

ඉදිරි මැතිවරණවල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කර වීම සහා කැපවෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.

ඒ සඳහා පක්ෂය පූර්ණ ලෙස ප්‍රතිසංවිධානය කිරීම තම අරමුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සාංවත්සරික උත්සවය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේය.

අද, බදාදා පොළොන්නරුවේ දී පැවති එම උත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්ව සිටි නමුත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එක්ව සිටියේ නැත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 64 වැනි සාංවත්සරික උත්සවය ඉතා උත්සවාකාරයෙන් සංවිධානය කර තිබිණ.

පසුගිය කාලයේ පක්ෂ නායකත්වය සමඟ විවිධ ගැටළු ඇති කර ගත් පාර්ශව සියල්ල පාහේ උත්සවයට එක්ව සිටියහ.

උත්සවය පැය දෙකක පමණ කාලයකට සීමා වූ අතර පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අමතරව උත්සවයේ ජනතාව ඇමතුවේ විශේෂ දේශනයක් කළ මහාචාර්ය සරත් විජේසූරිය පමණි.

උත්සවය අතරතුර උත්සව භූමියට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ජනතාවගෙන් දැඩි පිළිගැනීමක් ද හිමි විය.

පිළිගැනීමේ කතාව කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහලේකම් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ පක්ෂයේ බෙදීම අවසන් බව වේදිකාව දෙස බැලීමෙන් පෙනෙන බවයි.

" හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග අද මෙතන නැත්තේ එතුමිය ලංකාවේ නැති නිසයි, නැත්නම් එතුමියත් මෙතන ඉන්නවා, මේකෙන් පෙන්නන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවුරු බෙදන්න හැදුවත් බෙදන්න බැහැ කියලා"

උත්සවයේ විශේෂ දේශනයක් කළ මහාචාර්ය සරත් විජේසූරිය යුද්ධය ජය ගැනීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ස්තුතිය පල කළේය .

කෙසේ නමුත් ව්‍යවස්ථාවෙන් තම කාලය දීර්ඝ කිරීමට ඔහු ගත් උත්සාහය අනුමත නොකරන බවයි මහාචාර්යවරයා ප්‍රකාශ කළේ.

සාංවත්සරික උත්සවය ඇමතූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තම නායකත්වයෙන් ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවන බව ප්‍රකාශ කළේය.

" ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී මෙන්ම ඉදිරියේ තිබුනොත් ජනාධිපතිවරණයක් ඔබ අප සියළු දෙනාම එක් වෙන්න ඕනේ පක්ෂය ජයග්‍රහණය කරන්න"

වෛරී දේශපාලනයකින් තොරව වසර දෙකක සඳහාත් ජාතික ආණ්ඩුවක් රටට අවශ්‍ය වන්නේ ඇයි දැයි ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට කරුණු පැහැදිලි කර දුන්නේය.

තමන්ට එල්ලවෙන විවේචන ගැන අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ තමන් සෙමින් වැඩ කරන ජනාධිපතිවරයකු බවයි.

" මම වේගවත් ගමණක් ආපු කෙනෙක් නෙවෙයි, ඉදිරි යන ගමන වේගවත්ව යන කෙනෙකුත් නෙවෙයි. මම සෙමින් ගමනක් යන කෙනෙක්, ඒ යන සෙමින් ගමන මම ආපසු හරවන්න ලෑස්ති නැහැ"

එම සෙමින් ගමන රටේ පොදු ජනතාව වෙනුවෙන් හැමෝම එකතු කර ගෙන රට වෙනුවෙන් යන ගමනක් බවයි ඔහු කියා සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වීමට හේතු සොයා බලා පක්ෂය පූර්ණ ලෙස ප්‍රතිසංවිධානය කල යුතු බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.