අපරාධ 'රාජ්‍ය ප්‍රතිපත්තිය වූ බව පෙනේ'

මෙයින් වසර හයකට පෙර නිම වූ යුද සමයේ අපරාධ පිළිබඳව විභාග කිරීම සඳහා ජාත්‍යන්තර විනිසකරුවන්ගෙන් සමන්විත විශේෂ අධිකරණයක් පිහිටුවන මෙන් ශ්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ වාර්තාව මගින් ඉල්ලීමක් කර තිබේ.

ජිනීවා නගරයේ දී එම වාර්තාව එලි දක්වමින් අදහස් දැක්වූ මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ කොමසාරිස් සයිඩ් රාඩ් අල් හුසේන්, ශ්‍රී ලංකා ආණ්ඩුව, එහි ආධාරකරුවන් සහ දෙමළ කොටි සංවිධානය විසින් මානව වර්ගයාට එරෙහි අපරාධ සහ යුද අපරාධ සිදු කර ඇති බවට ප්‍රබල කරුණු ලැබී ඇති බව සඳහන් කළේය.

එම කරුණු මගින් ශ්‍රී ලංකාව රාජ්‍යයක් වශයෙන් නීතියට පිටින් සංවිධානාත්මක මට්ටමින් මනුෂ්‍ය ඝාතන සිදුකර ඇති බව පෙනී යන බවයි, බීබීසීයට අදහස් දක්වමින් මහකොමසාරිස් සයිඩ් රාඩ් අල් හුසේන් කුමරු කියා සිටියේ.

Image copyright Getty
Image caption යුද්ධයේදී මරණයට පත් හමුදා සාමාජිකයකුගේ මවක්
Image copyright Getty
Image caption එල්ටීටීඊ සාමාජිකයන්ට අයත්ව තිබූ සොහොන් බිමක්

‘ඒවා රට පුරා සිදු වෙලා තිබෙන්නේ හුදකලා අපරාධ වශයෙන් නොවෙයි. රාජ්‍ය ව්‍යුහය තුළ විවිධ මට්ටමේ සැලසුම්කරණයක් අනුවයි ඒ අපරාධ සිදු කරලා තිබෙන්නේ’ මහකොමසාරිස් වරයා පවසයි.

‘ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ හදවත කම්පා කරවනවා. ඒවා සැලකිල්ලට ගත යුතුයි. එවැනි අපරාධ සඳහා වන මුක්තිය අහෝසි කළ යුතුයි’ මහකොමසාරිස් වරයා කියා සිටියේය.

Image copyright G
Image caption 'ඒ වගේම එල්ටීටීඊයටත් අපේ අවධානයෙන් පැන යා නොහැකියි'

මේ අතර මහකොමසාරිස්වරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ එල්ටීටීඊ සංවිධානයත් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කොට ඇති බවයි.

‘ඒ වගේම එල්ටීටීඊයටත් අපේ අවධානයෙන් පැන යා නොහැකියි. සෙසු නිල නොවන අවි ගත් කණ්ඩායම්වලටත් එලෙසමයි. යුද්ධයේ අවසාන අදියරයේදී සාමාන්‍ය ජනතාව අනතුරේ හෙළීම මගින් කොටි සංවිධානය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කොට තිබෙනවා’ සයිඩ් රාඩ් අල් හුසේන් මහකොමසරිසවරයා පැවසීය.

එල්ටීටීඊ සංවිධානය ඉවක් බවක් නොමැතිව එල්ල කළ ප්‍රහාරවල ගොදුරු බවට සාමාන්‍ය ජනතාව පත් වූ බවත් සයිඩ් රාඩ් අල් හුසේන් මහකොමසාරිස්වරයා කියා සිටියේය.